බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙක නායකත්ව අර්බුදයක

Image caption හිටපු ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් , ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් තෙරේසා(Theresa May) මේ සහ අධිකරණ ලේකම් මයිකල් ගෝව්(Michael Gove)

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට පසුගියදා පැවති ජනමත විචාරණයේදී ජනතාවගෙන් ලැබුණු තීන්දුවත් සමග බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නායකත්ව අර්බුදයකට මුහුණ දී සිටිති.

මෙහි නවතම ප්‍රවණතාවය වන්නේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සහ අගමැති පදවිය සඳහා අධිකරණ ලේකම් මයිකල් ගෝව් තරඟ කරන බවට ප්‍රකාශයට පත් කිරීමයි.

ලන්ඩනයේ හිටපු නගරාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී බොරිස් ජොන්සන් සහ ස්වදේශ කටයුතු භාර ලේකම් තෙරේසා දැනටමත් එම පක්ෂයේ නායකත්වය සහ අගමැති පදවිය සඳහා තරඟ කරන බව ප්‍රකාශයට පත්කොට ඇත.

ජනමත විචාරණයේ දී ලන්ඩනයේ හිටපු නගරාධිපති බොරිස් ජොන්සන් සමග එක්ව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටි මයිකල් ගෝව් හිටපු නගරාධිපති බොරිස් ජොන්සන්ට සහයෝගය දක්වන බවටයි වාර්තා පළ වෙමින් තිබුණේ.

එහෙත් පක්ෂ නායකත්වය සඳහා තමාත් තරඟ කරන බව මයිකල් ගෝව් ප්‍රකාශ කිරීම මගින් පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට හඬ නැගූ කණ්ඩායම බෙදී ඇති බව යැයි බීබීසීයේ දේශපාලන වාර්තාකරු පවසයි.

'සාමුහිකත්වය මත පදනම්ව අපේක්ෂත්වය සඳහා ඉදිරිපත්වන' බව පවසන ස්වදේශ කටයුතු පිලිබඳ ලේකම් තෙරේසා මේ පවසා තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව ඇඟ බේරාගෙන කටයුතු කිරීමට අවශ්‍ය නැති බවයි.

Image caption කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඇන්ජෙලා ඊගල් (Angela Eagle) විසින් ජෙරමි කොර්බින් (Jeremy Corbyn) ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කොට ඇත

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඇන්ජෙලා ඊගල් විසින් ජෙරමි කෝර්බින් ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරනු ලැබ ඇත.

ලේබර් නායකයාගේ ඉදිරිපෙළ මන්ත්‍රීන් විසි දෙනාගෙන් එක් අයකු වන ඇය සැක පහළ කොට තිබුණේ පක්ෂයට නායකත්වය දීමට කෝර්බින් ට ඇති හැකියාව පිළිබඳවයි.

වත්මන් ලේබර් පක්ෂ නායකයා බදාදා රාත්‍රී තම හිතවතුනට පවසා තිබුණේ පසුගිය වසරේ පැවති නායකත්ව ඡන්දයෙන් තමා ලැබූ වරම අනුව දිගටම කටයුතු කරන බවයි.

එසේවුවද, කම්කරු පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් බහුතරයක් කෝර්බින් ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගනු ලැබුවේ ජනමත විචාරණයේ දී විධිමත් ලෙස මැතිවරණ ව්‍යාපාරය හැසිරවීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

එහෙත් රට පුරා සිටින කෝර්බින් හිතවාදී කම්කරු පක්ෂ සාමාජිකයන් පවසන්නේ සිය නායකයාගේ ජනප්‍රියත්වය තවමත් එලෙසම පවතින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර