සුචී ගේ පිහිටෙන් ගම්බිරා හිමිට නිදහස

File photo of Shin Gambira, leader of the All-Burmese Monks Alliance, talking to supporters while attending a court hearing in Yangon Image copyright Reuters
Image caption යූ ගම්බිරා හිමි සැෆ්රොන් විප්ලවයේ දී බුරුම භික්ෂූන්වහන්සේලා අතර කැපීපෙනුණු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි

සිරදඬුවම් විඳිමින් සිටි මියන්මාරයේ සුප්‍රසිද්ධ සමාජ ක්‍රියාධරයෙකු වන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැවති චෝදනා ඉවතලමින් එහිමියන් නිදහස් කරනු ලැබ තිබේ.

2007 පැවති 'සැෆ්රෝන් විප්ලවයේ' ප්‍රධාන අරගලකරුවෙකු වූ ගම්බිරා භික්ෂූන් වහන්සේට නියම වූ සිර දඬුවම මේ සතියේ සම්පූර්ණ කිරීමට නියමිතව තිබිණ.

එහෙත් නව චෝදනා ඉදිරිපත් කරමින් උන්වහන්සේ යළිත් වරක් සිරගත කිරීමේ උත්සාහයක් පැවති බවත් වාර්තා වේ.

දේශපාලන කටයුතු සම්බන්ධ වැරදි පිළිබඳ යළි සලකා බැලීමේ කාර්යයේ කොටසක් ලෙස ගම්බිරා හිමි නිදහස් කළ බව මියන්මාර රාජ්‍ය උපදේශිකා අවුං සාන් සුචී ගේ ප්‍රකාශකයෙක් පැවසීය.

Image copyright AP
Image caption ගම්බිරා හිමි ඇතුළු භික්‍ෂුන් රජයේ දරුණු සතුරෙකු බවට පත්වූ කාලයක් ද විය

ගම්බිරා හිමි මුල්වරට ප්‍රසිද්ධියට පත්වුයේ 2007 වසරේ හමුදා පාලනයට එරෙහිව බුරුම සංඝයා වහන්සේලා නැගී සිටි අවස්ථාවේදීය.

'සැෆ්රෝන් විප්ලවය' නමින් ප්‍රකට වූ වීදි උද්ඝෝෂණ රැල්ල සංවිධානය කිරීමට නායකත්වය ලබා දුන්නේ 'බුරුම සංඝයා වහන්සේලාගේ එකමුතුවේ' උන්වහන්සේ කැපී පෙනෙන චරිතයක් වූහ.

මියන්මාර හමුදාව විසින් 'සැෆ්රෝන් උද්ඝෝෂණ' මර්ධනය කිරීමත් සමග සැඟවී පලාගිය ගම්බිරා හිමි පසුව අත්අඩංගුවට පත් වූ අතර උන්වහන්සේට වසර 68 ක සිරදඬුවමක් නියම විය.

බන්ධනාගාරය තුළ දී ඉතා දරුණු ලෙස වද හිංසා වලට ලක්වෙමින් සිටි උන්වහන්සේට හිටපු ජනාධිපති තින් සෙයින් ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ වල ප්‍රතිපලයක් ලෙස නිදහස ලැබුණේ 2012 ජනවාරි මාසයේ දීය.

එහෙත් ඒ වන විට දරුණු වද හිංසා හේතුවෙන් උන්වහන්සේ මානසික ආබාධයකට ලක්වී සිටි බවයි වාර්තා වන්නේ.

බීබීසී යෙන්