යුරෝපා 'අවුල' ලිහා ගන්නට විසඳුම් සොයන බ්‍රිතාන්‍යය නීති වේදීන්

Image copyright Getty Images

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කරමින් බ්‍රිතාන්‍ය වැසියන් බහුතරය සිය ඡන්දය භාවිතා කළ ජූනි විසිතුවෙනි දින ජනමත විමසුමේ උණුසුම වියැකෙද්දී බ්‍රිතාන්‍යයේ ඉහළ තලයේ නීති විශාරදයන් සිය මෙහෙයුම් අරඹා තිබේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ නෛතික වශයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියා පිළිවෙල පමා කිරීමට හෝ හැකි නම් වැලකීමට අවශ්‍ය නීතිමය හිඩැස් අනාවරණය කර ගැනීමේ භාරදූර අරමුණ පෙරදැරි කරගෙනයි.

නීතිවිශාරදයන් මේ වන විට සිය ගවේෂණය සාර්ථක විසඳුම් ලබා දීමෙහි බලාපොරොත්තු තැබිය හැකි ප්‍රධාන මාර්ග තුනක් වෙත යොමු කරමින් සිටියි.

  • ලිස්බන් එකඟතාවයේ සඳහන් වන පනස් වන වගන්තිය ක්‍රියාත්මක කිරීම
  • ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය
  • නැවතත් ජනමත විමසුමක් පැවැත්වීම

ජනමත විමසුමේ ප්‍රථිපලය ක්‍රියාත්මක කිරීම රජයට අනිවාර්ය කෙරෙන බ්‍රිතාන්‍ය නීතියක් නොමැති වීම සහ ජනමත විමසුම ජයගත් පමණින් බ්‍රිතාන්‍ය ස්වයංක්‍රීයව යුරෝපා සංගමයෙන් ඉවත් නොවීම බොහෝ දෙනා මවිතයට පත් කිරීමට සමත් වී තිබේ.

බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඔවුන් නිල වශයෙන් ලිස්බන් එකඟතාවයේ සඳහන් වන පනස් වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු වෙයි, වෙනත් ආකාරයකින් පහදන්නේ නම් ජනමත විමසුමෙන් ලද ප්‍රථිපලය නෛතික වශයෙන් කිසිදු වෙනසක් ඇති නොකරන නමුත් දේශපාලනික සහ ආර්ථික වශයෙන් කුණාටුවක් ඇති කරමින් තිබේ.

පනස් වෙනි වගන්තිය?

යුරෝපා සංගමය සමග හතළිස් වසක් පැරණි බ්‍රිතාන්‍යයේ සම්බන්ධතාව සම්පුර්ණයෙන්ම නවතා දැමීමේ දොරටුව විවෘත්ත කිරීමට අවශ්‍ය යතුර ලෙස ලිස්බන් එකඟතාවේ පනස් වෙනි වගන්තිය හඳුන්වා දිය හැකියි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන බවට යුරෝපා සංගමයට දැනුම් දීමෙන් පසු වසර දෙකක කාලයක් තුළ බ්‍රිතාන්‍යට සම්පුර්ණයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කළ හැකි වෙයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට මෙම ඉවත් වීමේ ක්‍රියාවලිය සැපිරීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් අවශ්‍ය නම් ඉතිරි යුරෝපා සංගම් සාමාජික රටවල් විසි හතම ඒ වෙනුවෙන් සිය අනුමැතිය ලබා දිය යුතුයි.

Image copyright Getty Images
Image caption කෙසේ වෙතත් අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් බ්‍රිතාන්‍ය අගමැති ධුරය හොබවන තාක් පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා නොකරන බවයි.

යම් හේතුවක් මත යුරෝපා සාමාජික රටවල් බ්‍රිතාන්‍යට වසර දෙකකට වැඩි කාලයක් ඉවත් වීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලබා දීමට අකමැති නම්, පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය විසින් යුරෝපා සංගමයට දැනුම් දෙනු ලැබූ දවසේ සිට වසර දෙකක් සපිරෙන දිනයෙන් පසු බ්‍රිතාන්‍යයේ සාමාජිකත්වය ඉබේම අහෝසි වී යයි.

අනිත් අතට බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉතා ඉකමනින් ඉවත් වීමට අවශ්‍ය නම් ඔවුන් පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන බව දැනුම් දුන් දිනයේ සිට වසර දෙකක කාලය ඇතුළත ඕනෑම මොහොතක සම්පුර්ණයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බලය හිමි වෙයි.

වසර දෙක සම්පුර්ණ වන තුරු බ්‍රිතාන්‍ය සංගමයේ සාමාජිකත්වයේ රැදී සිටිය යුතු බවට කිසිදු නීතියකින් රට බැදීමකට ලක් වී නැත.

පනස් වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ 'යුරෝපා සංගම් සාමාජික රටකට සංගමයෙන් ඉවත් වීමට අවශ්‍ය නම් අදාළ රටේ ව්‍යවස්ථාවට අනුකූලව එම කටයුත්ත සිදු කිරීමට අවසර හිමි වන' බවයි.

වගන්තියේ මෙම පරිඡේදය සැලකිල්ලට ගනිමින් සිටින බ්‍රිතාන්‍ය නීති විශාරධයින් තර්ක කරන්නේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා නීතියට අනුව පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන බව අගමැතිවරයාගේ තනි කැමැත්තට යුරෝපා සංගමයට දැනුම් දීමේ බලයක් අගමැති ධුරයට හිමි නොවන බවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන බව දැනුම් දීමට නම් පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මගින් එම බලය අගමැතිවරයාට ලබා දිය යුතු වෙයි.

අලිකිත ව්‍යවස්ථාවක් හිමි බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වන්නේ ඉතා අනම්‍ය නීති පද්ධතියක් තුළයි.

1972 යුරෝපා කොමිසම් පනත මගින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වය නෛතික වශයෙන් පිළිගැනීම සිදු කළ නිසා යුරෝපා නීතිය බ්‍රිතාන්‍ය නීතියට ඉහළින් පිළිගැනෙන අතර එම පනත බල රහිත කිරීමට නම් අලුත් පනතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට පවතින රජයට සිදු වෙයි.

එබැවින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යතුර එසේත් නැතිනම් පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට තනි බලයක් හිමි වන්නේ නැත.

Image copyright PATRICK HERTZOG
Image caption බ්‍රිතාන්‍ය රැජිනගේ කවුන්සිලයේ සාමි වරයෙකු වන නීති විශාරධ ඩේවිඩ් පැන්නික් කියා සිටින්නේ 1972 පනතෙන් ක්‍රියාත්මක යුරෝපා සංගම් නීතිය අවලංගු කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ අලුත් පනතක් සම්මත කරමින් නව නීතිය ප්‍රතිස්ථාපනය කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය රැජිනගේ කවුන්සිලයේ සාමි වරයෙකු වන නීති විශාරධ ඩේවිඩ් පැන්නික් කියා සිටින්නේ 1972 පනතෙන් ක්‍රියාත්මක යුරෝපා සංගම් නීතිය අවලංගු කිරීමට නම් පාර්ලිමේන්තුව තුළ අලුත් පනතක් සම්මත කරමින් නව නීතිය ප්‍රතිස්ථාපනය කළ යුතු බවයි.

මහජන මන්ත්‍රී මණ්ඩලයේ සේවය කළ නීති විශාරධ ශ්‍රීමත් මැල්කම් ජැක් සහ රැජිනගේ කවුන්සිලයේ සාමාජික ලෙස්ටර් සාමිවරයා ද ඩේවිඩ් සාමිවරයා විසින් ඉදිරිපත් කරන තර්කයට එකඟතාව පළ කරමින් ප්‍රකාශ නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා නීතිය යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාවකින් තොරව අගමැතිවරයාට රට යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමේ බලයක් හිමි නොවෙයි.

කෙසේ වෙතත් සංස්කෘතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ගරු කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බහුතර ජනතා කැමැත්තට පිටුපාමින් යුරෝපා සංගමයෙන් ඉවත් නොවී හිඳීමේ අවස්ථාවත් ඉතා දුර්ලභ එකක් වනු ඇති බවටයි නීති විශාරධයින් සැක පළ කරන්නේ.

ස්කොට්ලන්තයේ ස්ථාවරය

ස්කොට්ලන්තයේ මහ ඇමතිනි නිකොලා ස්ටර්ජන් පවසන්නේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම වැළක්වීමට පියවර ගන්නා බවයි. නෛතික වශයෙන් ස්කොට්ලන්තයට එවන් බලයක් හිමි වේද?

සරල පිළිතුර වන්නේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව එවන් බලයක් හිමි නොවේ යන්නයි.

එසේ නම් නිකොලා ස්ටර්ජන් ඇමතිවරියගේ ප්‍රකාශයේ තර්කය කුමක්ද?

Image copyright Getty Images
Image caption ජනමත විමසුමේ සමස්ථ ප්‍රතිපලය යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතු බව තීරණය කර තිබුනත් ස්කොට්ලන්ත ඡන්ද වලින් බහුතරය දිගටම යුරෝපා සංගමයේ රැදී සිටීමට කැමැත්ත පළ කරමින් ප්‍රකාශ වී තිබුණි.

පාර්ලිමේන්තු සම්මුතියක් වන සෙවෙල් ගිවිසුම යටතේ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව එක්සත් රාජධානියට අයත් කොටසකට (ස්කොට්ලන්තයට) සෘජුවම බලපාන පනතක් සම්මත කර ගැනීමේ දී බලය පවරන ලද පාර්ලිමේන්තු වල (ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ) අනුමැතිය ලබා ගත යුතු වෙයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ මේ වන විට ඉහළම නීතිය ලෙස සැලකෙන යුරෝපා සංගම් නීතිය යටතේ ස්කොට්ලන්තයේ මෙම අයිතිය අවහිර කර ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට හිමි බලතල සීමා කොට තිබේ.

නමුත් ස්කොට්ලනත මහ ඇමතිවරිය තර්ක කරන්නේ යුරෝපා සංගම් නීතිය බල රහිත කරමින් 1972 යුරෝපා කොමිසම් පනත අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ නම් සෙවෙල් ගිවිසුම නැවත බලසම්පන්න වන අතර ඒ යටතේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පනස් වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීමේ තීරනයේදී බලය පැවරුන පාර්ලිමේන්තුවක් ලෙස සිය විරෝධතාව පළ කරමින් නැගී සිටින බවයි.

කෙසේ වෙතත් ස්වාධිපත්‍යයෙන් ඉතා ඉහල බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට ස්කොට්ලන්තයේ විරෝධය නොතකා නීති සම්මත කිරීමේ බලය හිමි වන්නේ අලිකිත පාර්ලිමේන්තු සංස්කෘතිය හරහායි.

එබැවින් මෙම ප්‍රශ්නයේදී ස්කොට්ලන්තයට බ්‍රිතාන්‍ය වැළක්වීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිත වන බවයි නීති විශාරධයන්ගේ මතය.

තවත් ජන මත විමසුමකට?

ජනමත විමසුමෙන් ලද ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක් මේ වන විට බ්‍රිතාන්‍ය තුළ යුරෝපා සංගමයෙන් ඉවත් වනවාද රැදෙනවාද යන්න තීරණය කිරීමට නැවත ජනමත විචාරණයක් පවත්වන මෙන් ඉල්ලා මිලියනයකට අධික ප්‍රමාණයක් අත්සන් තැබූ පෙත්සමකට පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.

ප්‍රථම ජනමත විචාරනයෙදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කළ ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් සිය සහයෝගය ලබා දුන් ඔලිවර් හේළි නම් පුද්ගලයෙකු විසින් මෙම පෙත්සම ආරම්භ කර තිබේ.

Image copyright Getty Images
Image caption දෙවන ජනමත විමසුමක් ඉල්ලමින් අන්තර්ජාක්ලයේ නිර්මාණය කරන ලද පෙත්සමට මිලියන ගණනක් සිය අත්සන් ලබා දී තිබුණි.

පෙත්සම සැලකිල්ලට ගෙන ස්වාධිපත්‍යයෙන් යුතු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දෙවන ජන මත විමසුමක් වෙනුවෙන් අනුමැතිය ලබා දීමට නීතියක් සම්මත කර ගැනීමේ හැකියාව පවතියි.

ව්‍යවස්තානුකූලව එම බලය පාර්ලිමේන්තුවට හිමි වුවත් දේශපාලනික වශයෙන් එම ක්‍රියාව සාර ධර්ම වලට විරෝධී පියවරක් ලෙසයි නීති සහ දේශපාලනික විශාරධයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ජන මත විමසුමෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළ බහුතරයට වඩා වැඩි පිරිසක් අදාළ පෙත්සමට සිය අත්සන් ලබා දුන්නොත් නැවත ජනමතයක් විමසීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අවස්ථාවක් හිමි වනු ඇති බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

නමුත් පෙත්සමකට අත්සන් මිලියන හතරක් එක්කාසු කිරීම ලේසි පහසු කාර්යක් නොවන බවයි සමාජ විද්‍යා විචාරකයින් පවසන්නේ.

බීබීසි නීති තොරතුරු වාර්තාකරු ක්ලයිව් කොලමන් (Clive Coleman) ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරෙන් සංදේශය වෙනුවෙන් ලිපිය සැකසුවේ පවිත්‍රා පෙරේරා.