සෞදි ඇමරිකානු තානාපති කාර්යාලය අසළ බෝම්බ පිපිරීමක්

US consulate in Jeddah, Saudi Arabia, file picture

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

2004 වසරේ දී ප්‍රහාරයට ලක්වූ තානාපති කාර්යාලය අසලයි මෙම පුපුරවා හැරීම සිදුවූයේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු සෞදි අරාබියේ ජෙඩා නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අසල දී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

ප්‍රහාරකයා මෙල්ල කිරීමට උත්සාහ කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ නමුත් වෙනත් කිසිවෙකුට හානි සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

දවසේ රාමදාන් නිරාහාර පිළිවෙත ආරම්භ කිරීමට සුළු වෙලාවකට පෙර ඇමරිකානු නිදහස් දිනයේ අලුයම් කාලයේ දීය ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

2004 වසරේ දී සන්නද්ධකරුවන් විසින් මෙම තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

රාත්‍රී 2.15 ට පමණ තානාපති කාර්යාලයට විරුද්ධ පැත්තේ ඇති සුලෙයිමාන් ෆකී රෝහලේ රථ ගාලේ සිටි පුද්ගලයෙක් පිළිබඳව සැක පහල වූ ආරක්ෂක නිලධාරීහු ඔහුවෙත ගමන් කරද්දී එම පුද්ගලයා සඟවාගෙන සිටි බෝම්බයක් පුපුරුවාහැර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක මේජර් ජෙනරාල් මන්සූර් අල් ටර්කි පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියේ ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත්කරමින් ඇමරිකානු ජාතිකයින් ගෙන් ඉල්ලා ඇත්තේ රට තුළ සංචාරය කරද්දී තම වට පිටාව පිලිබඳ අවදියෙන් සිටින ලෙසයි.