පියාගේ විලාපයෙන් මුවහත් වූ පන්හිඳ

පියාගේ විලාපයෙන් මුවහත් වූ පන්හිඳ

මිනිස් ඉතිහාසයේ කුරිරුතම සමූලඝාතනයක් සියැසින් දුටු කුඩා දරුවකු මුළු ලොවටම සවිමත් හඬක් විය.

නාසි හමුදාව හංගේරියාව යටත් කර ගනිද්දී එලී වීසෙල් පහළොස් හැවිරිදි දරුවෙකි.

අනතුරුව යුදෙව් ප්‍රජාවට අයත් සියලු දෙනා ගාල් කෙරුනේ නාසි වධකාගාර තුළයි.

එලී ගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා සහ බාල සොයුරිය සමඟ සිය මව් පියන්ටද යාහැකි වෙන මගක් නොතිබුණි. තාත්තා ගේ අතේ එල්ලී ඒ පෝලිමේ ම යාමට එලීටත් සිදු විය.

පවුලේ එකිනෙකා වෙන් කෙරුනේ සිය සොයුරියන් හඬා වැළපෙද්දී යි.

එලීගේ මවත් බාල නැගණියත් වධකාගාරය තුළ මරා දැමුණු අතර අට මසකට පසු සිය පියාටද උරුම වුණේ කුරිරු මරණයම යි.

Ellie
ඡායාරූප ශීර්ෂ වැකිය,

එලී වීසල් සමග කඳවුරේ සිටි ළමුන් - එලී මියගියේ 87 වැනි විය පසුකරමින් සිටිය දී

තම පියාට නාසි සොල්දාදුවන් පහර දෙන විට පියා නගන ලතෝනිය එලී ගේ සිර කුටියටත් හොඳින් ඇසෙයි. දරුවෙකු ලෙස තම පියාට ඒ මොහොතේ පිහිට විය නොහැකිව එලී තනිවම ළතැවුණි.

ඒ මතකය හිතේ දරාගෙන වධකාගාරයෙන් නිදහස් වන්නට එලීට හැකි වුණේ ඇමරිකානු හමුදා එම ප්‍රදේශය අත් පත් කර ගත් නිසයි. ළමා නිවාසයක හැදී වැඩුණු සිය වැඩිමල් සොයුරියන් දෙදෙනාත් පසු කාලීනව එලීට හමුවිය.

'රාත්‍රිය'

වධකාගාරයෙන් එළි බට කොළු ගැටයා දර්ශනය සහ සාහිත්‍යය හදාරන්නට පෙළඹුණි. තම හඬ අවදි කරන්නට පන්හිඳ අතට ගත් එලී වීසෙල් නොමෙල් සාම ත්‍යාගය දක්වා ගෙන යාමට ඒ අමිහිරි මතක සටහන් සමත් විය.

එලී වීසෙල් ගේ අතින් යුද්ධය ගැන ලියැවුන 'රාත්‍රිය' නම් කෘතියේ පිටපත් කෝටියක් මේ වන විට විකිණී හමාරයි. ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ ජාතිවාදයට එරෙහිව නැගු හඬ වෙනුවෙන් එලී වීසෙල් 1986 දී නොබෙල් සාම ත්‍යාගයෙන් සම්භාවනාවට පාත්‍ර විය. පීඩිතයන් වෙනුවෙන් නැගෙන සිය හඬට ජාති, කුළ, ආගම් හෝ දේශ සීමා තිබුණේ නැත.

තමා නොබෙල් ත්‍යාගය ලබා ගන්නා මොහොතේත් වරෙක රෝගාතුරව රෝහලේ සිටියදී ත් පියා තමා ඉදිරියේ පෙනී සිටි බව ඔහු පවසයි.

ජීවිතයේ වියපත් සමය ගත කරමින් සිටියදී පවා තම පවුලේ උදවිය ගැන කතා කරද්දී එලී ගේ නෙතඟට කඳුළක් නැගුණේය.

නාසි වධකාගාරයේ වේදනාකාරී හැඟීම් හද තුළ තෙරැපෙමින් තිබියදී ලොව අමතන්නට පන්හිඳ සුරතට ගත් එලී වීසෙල් මහාර්ඝ කෘති ගණනාවක් ලොවට දායාද කර (ජූලි 02දා) අපෙන් සදහටම සමු ගත් වගයි.

-අරවින්ද තිසර රතුවිතාන.