බ්‍රිතාන්‍යයේ UKIP පක්ෂ නායක නයිජල් ෆරාජ් ඉල්ලා අස් වෙයි

නයිජල් ෆරාජ්

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාවක් ජනමත විචාරණයේදී ඡන්දය දීමෙන් අනතුරුව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වන බව එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ නායක (UKIP) නයිජල් ෆරාජ් නිවේදනය කළේය.

බ්‍රිතාන්‍යය වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ අතර, පක්ෂය දැන් ඉතා යහපත් තත්වයක පවතින බවයි, ඉල්ලා අස් වීම නිවේදනය කරමින් ඔහු කියා සිටියේ.

UKIP පක්ෂයට නායකත්වය දීම ඇතැම්විට ඉතා දුෂ්කර වූ බව පැවසූ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නයිජල් ෆරාජ්, කෙසේ නමුත් ඒ දුෂ්කර කාර්යය ඉටු කළේ කැමැත්තෙන් බවත් සඳහන් කළේය.

ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම වෙනුවෙන් පෙනී සිටි අයකු බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙසින් තෝරා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂයේ නව නායකත්වය සඳහා කිසිවෙකුටත් සිය සහාය පල නොකරන බව පවසන පදවියෙන් ඉවත්ව යන නායකයා, ඒ සඳහා සුදුසුම තැනැත්තා තේරී පත් වනු ඇති බව වැඩිදුරටත් පැවසීය.