මහ බැංකුවේ විශ්වසනීයත්වය රැකීමට කැපවෙනවා - නව අධිපති

Image copyright PMDNews
Image caption "ජනාධිපතිවරයා හමුවුණු වෙලාවේ ඔහු මට කිව්වේ එක දෙයයි, ඔබ කරන වැඩේ කෙලින් කරන්න, ඔබේ රාජකාරිය කිරීමේදී කිසිවකුටත් බිය නොවන්න කියන එකයි"

ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිය සහ විශ්වසනීයත්වය රැකගෙන කටයුතු කිරීමේ වගකීම වෙනුවෙන් කැපවන බව නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නව පදවියේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුවේ නිලධාරීන් අමතා කථාකරමින්.

"මට ඔබට සහතික වෙන්න පුළුවන් මම මට කළ හැකි සියල්ල කරනවා එය රැක ගන්න," ඔහු පැවසීය.

"මට එය තනියම කරන්න බැහැ. ඒ සඳහා ඔබ සියළු දෙනාගේ සහයෝහය අවශ්‍යයි මේ ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ආයතනවලින් එකක් ලෙස පවත්වාගෙන යන්න."

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කරන බව පසුගිය සෙනසුරාදා නිවේදනය කළේ, මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්භන්ධයෙන් එතෙක් පැවති අවිනිශ්චිත තත්වය නිමා කරමින්.

ජනපති අගමැති උපදෙස්

සඳුදා උදෑසන ජනාධිපතිවරයාගෙන් නිල පත්වීම් ලිපිය ලබාගනීමෙන් අනතුරුවයි, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවට ගොස් සිය දුරයේ රාජකාරි ආරම්භ කළේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී ඔවුන් ලබාදුන් උපදෙස් පිළිබඳව පැහැදිලි කළ ආචාර්ය කුමාරස්වාමි: "ජනාධිපතිවරයා හමුවුණු වෙලාවේ ඔහු මට කිව්වේ එක දෙයයි, ඔබ කරන වැඩේ කෙලින් කරන්න, ඔබේ රාජකාරිය කිරීමේදී කිසිවකුටත් බිය නොවන්න කියන එකයි."

Image copyright PMDNews
Image caption ජනපතිවරයා සහ අගමැතිවරයා පසුගිය සතියේ හදිසියේම මහ බැංකුවට ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡා කළහ

ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාර කටයුතු කිරීම සිය අභිලාශය බව සඳහන් කළ ඔහු: "අගමැතිවරයා හමුවනු අවස්ථාවේ ඔහු මේ රටට ඉදිරියට ගෙනියන ඔහුගේ දර්ශනය ඉදිරිපත්කලා. ඒ වැඩපිළිවලේ මහ බැංකුවට විශාල කාර්යභාරයක් තිබෙනවා ඉටුකරන්න."

මහ බැංකුවේ ඉහල නිලධාරීන් සමඟද සාකච්ඡා කර සිය ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරන බවද නව අධිපතිවරයා සඳහන් කළේය.

"මම පුදුමයටත් පත්වුණා මේ ඉල්ලීම ආවම. ඒ නිසා ඔබ ඉදිරියට මම ඇවිත් ඉන්නේ මට අවශ්‍ය ආකාරයට ලෑස්තිවෙලා නෙවෙයි."

හිටපු ජනපතිනිය

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය ජුනි 30 වැනිදා අවසන් වුවත්, නව මහ බැංකු අධිපතිවරයා පිළිබඳව ආණ්ඩුවේ පාර්ශව අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ජුලි මස 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කලේ අධිපතිවරයෙක් නොමැතිවයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයෙන් යෝජනා කෙරුණු හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ පත්කිරීමට ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එකගත්වය පළ කර නැහැ.

නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අර්බුදයක් දක්වා ගමන් කිරීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැදිහත් වී ගැටළුව විසඳීමට කටයුතු කළ බවයි නම සඳහන් කිරීමට අකමැති වූ රජයේ ඇමතිවරයෙක් බිබිසී සංදේශයට කියා සිටියේ.

නව පදවිය සඳහා නම් කෙරෙන අවස්ථාවේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍ය පදවිය දරන සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර