මුස්ලිම් මංගල යෝජනා අඩවිය හැක් කරලා

ඡායාරූප මූලාශ්‍රය, MuslimMatch.com
Muslim Match නම් මුස්ලිම් මංගල යෝජනා අඩවිය හැක් කොට එහි සාමාජිකයන් 150,000 කට අධික පිරිසකගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබේ.
ඒ හැරුණු කොට සාමාජිකයන් අතර හුවමාරු වූ පුද්ගලික පණිවුඩ 700,000 කට අධික ප්‍රමාණයක්ද හැකරුන් අතට පත් වී තිබේ.
අඩවියේ ආරක්ෂක ක්‍රියාදාමය බිඳ දැමීමේ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇති බව මංගල යෝජනා අඩවිය සිය මුල් පිටුවේ පළ කළ නිවේදනයකින් පවසයි.
එය යළි යථා තත්වයට පත්කිරීම පිණිස පියවර ගනිමින් සිටින අතර, අඩවියේ ආරක්ෂක විධිවිධාන තරකිරීමට කටයුතු කරන බවත් එහි සඳහන්.
කිසියම් සාමාජිකයකු බහු විවාහයක් පිළිබඳව සලකා බලන්නේද යන්න ඇතුළු ඉතා සංවේදී තොරතුරුද හැකරුන් අතට පත් වී තිබේ.
ඡායාරූප මූලාශ්‍රය, Twitter / @haveibeenpwned
වෙබ් අඩවි ආරක්ෂාව පිළිබඳ පර්යේෂකයකු වන ට්‍රෝයි හන්ට්ගේ ට්විටර් පණිවුඩය
තාක්ෂණික කටයුතු පිළිබඳ Motherboard වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔවුන්ගේ සේවා ස්ථාන, ලිපින, විවාහකද අවිවාහකද යන්න, වෙනත් ආගමක සිට ඉස්ලාම් ධර්මය වැළඳ ගත්තේද යන තොරතුරු මෙන්ම නම්, ඊමේල් ලිපින, ස්කයිප් ලිපින ඇතුළු සියලු තොරතුරුද අනාවරණය වී තිබේ.
මුස්ලිම් මංගල යෝජනා අඩවිය හැක් කර ඇති බව සොයාගෙන තිබෙන්නේ වෙබ් අඩවි ආරක්ෂාව පිළිබඳ පර්යේෂකයකු වන cybersecurity alert වෙබ් අඩවියේ හිමිකරු ට්‍රෝයි හන්ට් විසින්.
"යෝජනා සහ අදහස් හුවමාරු කරගැනීමටත්, විවාහයක් සඳහා සුදුසු සහකරුවකු සොයා ගැනීම පිණිසත් අවිවාහක, දික්කසාද වූ, විවාහක සියලු මුස්ලිම්වරුන් එකට එක් වන" අඩවියක් ලෙසිනුයි එහි ෆේස්බුක් පිටුව සිය අඩවිය හඳුන්වා දෙන්නේ.
රහසිගත තොරතුරු අනාවරණය කෙරුණු සාමාජියන්ගෙන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානයේ වෙසෙන්නන් බවයි විශ්වාස කැරෙන්නේ.
හැක් කරනු ලැබීමෙන් අනතුරුව වෙබ් අඩවිය තාවකාලිකව වසා දමා තිබේ.