ඕස්ට්‍රේලියාවේ 'බලු රේස්' තහනමක්

Image copyright Vince Caligiuri

විශාල ලෙස පැතිරී තිබෙන සත්ව හිංසනය සැලකිල්ලට ගෙන එළඹෙන වසරේ සිට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සුනඛ ධාවන තරඟ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.

බලු රේස් සඳහා පුරුදු පුහුණු කරන සුනඛයන් තරගකාරිත්වයෙන් අඩු බව හැඟුණු විට විශාල සංඛ්‍යා වලින් එම සතුන් ඝාතනය කෙරෙන අතර පුහුණු කිරීම් වලදී සුනඛයන්ගේ ගොදුරු ලෙස ඌරු පැටවුන් සහ මී කුලයේ සතුන් යොදා ගැනීම සිදු කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සුනඛ ධාවන තරග සම්බන්ධයෙන් සිදු කළ විශේෂ පරීක්ෂනයකදී මෙම සත්ව වධ හිංසා සම්බන්ධයෙන් කරුණු හෙළි වූ බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බලු රේස් සහ ඊට සමගාමීව සිදු වන සත්ව හිංසනය කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදනය කළ රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් හේතුවෙන් බලධාරීන්ගේ අවධානය ඒ දෙසට යොමු විය.

ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන තුනකට අධික මුදලක් බලු රේස් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම සඳහා වියදම් කෙරෙන අතර මෙම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දහස් ගණනක් පුද්ගලයෝ සේවයේ යෙදෙති.