ඉන්දියාවේ දිවි අරගලයේ නිරත ඇෆ්ගන් කතුන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාවේ දිවි අරගලයේ නිරත ඇෆ්ගන් කතුන්

දිගින් දිගටම ඇවිළෙන යුද ගැටුම් හමුවේ ලොව පුරා කෝටි හතකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිය නිවෙස් අහිමි ව අනාථ තත්වයට පත්ව සිටියි.

එම සංඛ්‍යාවෙන් මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මේ වන විටත් වෙනත් රටවල සරණාගත භාවය ඉල්ලුම් කර තිබේ.

ඉන්දියාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ තිස් පන්දහසකට අධික අනාථයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටියි.

ඉන්දියාවට අනාථයන් වශයෙන් පැමිණි ඇෆ්ගනිස්තාන කාන්තාවන් කණ්ඩායමක් සිය දිරියෙන් ජීවිකාව සොයා ගැනීම සඳහා සිය දේශීය ආහාර පිළියෙළ කොට විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

දිල්ලි අගනුවර සිට බීබීසී වාර්තාකාරිණි සුමිරන් ප්‍රීත් ඉදිරිපත් කළ වාර්තාවක් සංදේශය වෙනුවෙන් සැකසුවේ පවිත්‍රා පෙරේරා. සවන් දෙන්න අනාථ ඇෆ්ගන් කතුන්ගේ නව ආහාර ව්‍යාපෘතිය සහ ඔවුන්ගේ ජීවිත සටන විස්තර කෙරෙන මේ හඬ පටයට.

රසියා ඉන්දියානු කුරුතා කමිසයකින් සැරසී සිටියත් ඇස් දෙක පමණක් පෙනෙන පරිදි ඇයගේ මුහුණ පර්දාවකින් ආවරණය වී තිබුණි.

කෑම පිසීම නතර කළ ඇය ඇෆ්ගනිස්තානයේ යුද්ධයෙන් ජීවිතය බේරා ගන්න ඉන්දියාව බලා ඒමට සිදු වූ අයුරු විස්තර කරමින් "2011 මගේ සැමියාව තාලිබාන් සංවිධානයේ කැරලිකරුවන් පැහැර ගත්තා, පස්සේ උන් මගේ සැමියාව මරලා දැම්මා. මගේ ජීවිතේ බේර ගන්න මම මෙහාට පැනලා ආවා. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා, අපිට ජීවත් වෙන්න වියදම් පියවගන්න දැන් මාර්ගයක් නැහැ." සිය ජීවිත සටන පැහැදිළි කළාය.

දිල්ලි නුවර අනාථ ඇෆ්ගනිස්තාන කාන්තාවෝ කණ්ඩායමක් 'ඉල්හාම්' යනුවෙන් නම් කරනු ලැබූ නව සමිතියක් පටන් ගෙන ඇති අතර ඔවුන් සතියට දෙතුන් වරක් එකතු වී ඇෆ්ගනිස්තානයට ආවේණික කෑම වර්ග සකසා විකිණීම සිදු කරනු ලබයි.

ඉන්දියාවේ පිහිටා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් මේ ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට සුළු වශයෙන් උපකාර සපයන අතර වෘත්තීය පුහුණු වීම් ලබා දීමටත් කටයුතු කරයි.