ජාවා වාහන තදබදයෙන් මරණ දොළහක්

Image caption සිර වූ රිය පෙළ

එක දිගට දවස් කීපයක් පැවති රථ වාහන තදබදයක දී වාහන තුළ කොටු වූ මගීන් දොළොස් දෙනකු පමණ මරණයට පත් වූ බව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි.

විජලනය සහ ශාරීරික ශක්තිය පිරිහීමෙන් එම මරණ සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දුනීසියාවේ ජාවා දූපත්වාසීන් අති විශාල සංඛ්‍යාවක් රාමදාන් උපවාස සමය නිමාවේ පැවැත්වෙන උත්සව සඳහා සහභාගී වීමට මෝටර් රථ වලින් ගමන් ගනිමින් සිටිය දී එක් මංසන්ධියකදී වාහන පෝලිමකට හසු වී ඇත.

ඉහත කී මරණ දොළහ වාර්තා වුනේ දවස් තුනක් ඇතුළත බවයි ඉන්දුනීසියාවේ ප්‍රවාහන අංශයේ නිලධාරීන් පවසන්නේ.

ජාවා දූපතෙන් ලැබෙන වාර්තා පවසන්නේ මරණකරුවන්ගෙන් වැඩි දෙනා වෘද්ධයන් වන අතර ඔවුන් රත් වූ වාහන තුළ සිර වී සිටියදී මියගොස් ඇති බවයි.

වාහන දුමාරය විෂ වීමෙන් ළදරියක් මිය ගිය බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.