බ්‍රිතාන්‍යය ඉන්දියානු වෙළඳපොළ දෙසට

Business Secretary Sajid Javid
ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍ය වෙළඳාම් පිලිබඳ රාජ්‍ය ලේකම් සාජිද් ජාවිඩ්

ජනමත විමසුමෙන් බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් පසු වෙළඳාම් පිලිබඳ රාජ්‍ය ලේකම් සාජිද් ජාවිඩ් බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර නව වෙළඳ ගණුදෙනු සාකච්ඡා කිරීමට ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.

යුරෝපා සංගමයෙන් පිටත බ්‍රිතාන්‍ය සමග වෙළඳ ගණුදෙනු සිදු කිරීමට අවශ්‍ය පසුබිම සාකච්ඡා කිරීම සඳහා වෙළඳාම් පිලිබඳ රාජ්‍ය ලේකම් සාජිද් ජාවිඩ් ඉන්දියාවේ දිල්ලි නුවරදී එරට බලධාරීන් හමු වීමට නියමිතයි.

ඉන්දියා සංචාරයෙන් පසු ඉදිරි මාස කිහිපය තුළ ඇමරිකාව, චීනය, ජපානය සහ දකුණු කොරියාවේ ද සංචාරය කිරීමටයි වෙළඳාම් පිලිබඳ රාජ්‍ය ලේකම්වරයා සැලසුම් කර තිබෙන්නේ.

ඉන්දියාවේ ගත කරන කාලය තුළ බ්‍රිතාන්‍යයේ ටාටා සමාගමේ ඉදිරි ගමන පිළිබඳවත් සාකච්ඡා පැවැත්වීමට තමන් අදහස් කරන බවයි සාජිද් ජාවිඩ් කියා සිටියේ.

බ්‍රිතාන්‍ය වෙළඳ සහ ආයෝජන වාර්තා වලට අනුව බ්‍රිතාන්‍යයේ වැඩිම ප්‍රමාණයක් ආයෝජනය කරන තෙවන විශාලතම විදේශීය රට වන්නේ ඉන්දියාවයි.

බ්‍රිතාන්‍ය රජය පවසන්නේ පසුගිය වසරේ පමණක් ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර වෙළඳ ගණුදෙනු වල වටිනාකම පවුම් බිලියන දාසය ඉක්මවන බවයි.

නව ගණුදෙනු කරුවෝ

යුරෝපා සංගමයෙන් ඉවත් වුවොත් බ්‍රිතාන්‍යයේ නව වෙළඳ ගණුදෙනු නගා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගෙන ක්‍රියා කරන නව ආර්ථික විශේෂඥ කණ්ඩායමක් පත් කිරීමේ සැලසුම් පසුගිය සතියේ බ්‍රිතාන්‍ය රජය විසින් නිවේදනය කර තිබේ.

මෙම කණ්ඩායමට වෙළඳාම් සහ ආර්ථික විශේෂඥයින් තුන්සීයක් ඇතුළත් වන අතර මේ වසර අවසානයේ ඔවුන් බ්‍රිතාන්‍ය වෙනුවෙන් නව වෙළඳ ගණුදෙනු සහ ආයෝජන රට තුලට ගෙන ඒමට ක්‍රියා කරනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් මෙම විශේෂඥ කණ්ඩායමට සිය අරමුණු සාර්ථක කර ගැනීමට මිත්‍රශීලී රජයන්ගේ උදව් උපකාර අවශ්‍ය බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ෆිලිප් හැමන්ඩ් කියා සිටියේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට වැඩි ඉඩක්

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි යන මතයේ සිටින බොහෝ පිරිස් පවසන්නේ ඉන්දියාව වැනි සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටවල් වලින් බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමය තුළ සිටියදී ලද වෙළඳ වෙළඳ ගණුදෙනු වලට වඩා වැඩි පරාසයකින් වෙළඳාම් සහ ආයෝජන ගලා එනු ඇති බවයි.

මේ වන විට යුරෝපා සංගම් විවෘත්ත වෙළඳපොළ හරහා බ්‍රිතාන්‍ය රටවල් පනස් දෙකක් සමග වෙළඳ ගණුදෙනු සිදු කරන අතර ජනමත විමසුමේ ප්‍රථිපලය ලෙස බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවොත් අදාළ රටවල් සියල්ල සමග නව කොන්දේසි යටතේ වෙළඳ ගණුදෙනු වලට එළඹීමට බ්‍රිතාන්‍යයට සිදු වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලින් මේ වන විට 10% ක අපනයන බ්‍රිතාන්‍යට සැපයෙන අතර යුරෝපා සංගමය හරහා ඇති කරගත් වෙළඳ ගිවිසුම් යටතේ 44%ක වෙළඳාම් රටට ගලා එයි.