නීස් ප්‍රහාරය: 'ජිහාඩ් ත්‍රස්තවාදයේ සියලු සලකුණු'

ප්‍රහාරකයා පැද වූ ට්‍රක් රථය
ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරකයා පැද වූ ට්‍රක් රථය

බ්‍රහස්පතින්දා රාතියේ ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 84 දෙනකු මියගොස් ඇති අතර, 202 දෙනකු තුවාල ලබා තිබෙන බව බලධාරීහු පවසති. ප්‍රහාරයෙන් අනතුරුව එහි පවතින තත්වය විමසමින් සිකුරාදා දිනය පුරා සජීවී ලෙසින් යාවත්කාලීන කෙරුණ මේ පිටුව තවදුරටත් යාවත්කාලීන නොකෙරේ. (මෙහි දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවයි).

සවස 17:14 - කිසිවෙකුත් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතත්, එහි 'ජිහාඩ් ත්‍රස්තවාදයේ සියලු සලකුණු' දක්නට ලැබෙන බව ප්‍රංශ අභිචෝදකයා පවසයි.

සවස 16:45 - අසනීප තත්වයක් හේතුවෙන් නිදහස් දින උත්සවයට සහභාගි නොවීම් නිසා සිය ජීවිතය බේරුන බව හැඟෙන්නේ යයි එහි වාසය කරන සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි බීබීසී සංදේශයට පැවසීය. නගරයේ ශ්‍රී ලාංකිකයන් 75ක් පමණ වෙසෙන නමුත් ඒ කිසිවෙකුටත් හානියක් වී නැති බවත් ඇය සඳහන් කළාය. (හඬ පටයට සවන්දෙන්න)

සවස 16:25 - නීස් ප්‍රහාරයෙන් 202 දෙදෙනකු තුවාල ලැබූ බව පවසන ප්‍රංශ අභිචෝදක ප්‍රන්ශුවා මොලින්ස්, එයින් 52 දෙදෙනකු මේ වන විට අසාධ්‍ය තත්වයේ පසුවන බවත් පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

නීස් ප්‍රහාරයට ගොදුරු වූවන් සිහි කර කීව් අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපස මල් කළඹක් තැන්පත් කරන යුක්රේන ජනාධිපති පෙත්‍රෝ පොරෝශේන්කෝ

අසාධ්‍ය තත්වයේ පසුවන අය අතරින් 25 දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය.

ප්‍රහාරයෙන් මිය ගිය 84 දෙනා අතුරින් දස දෙනකු දරුවන් සහ තරුණ තරුණියන් බවත් වාර්තා වේ.

සවස 15:30 - නීස් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශයට සහයෝගය පලකිරීම් වස් සිකුරාදා දිනය තුල රට පුරාම ජාතික ධජ අඩ කුඹු කිරීමට තුර්කිය තීරණය කළ බව අගමැති බිනාලි යිල්දිරීම් නිවේදනය කරයි.

සවස 15:20 - නීස් ප්‍රහාරයෙන් අනතුරුව තුවාල ලැබූවන් 188 දෙනෙකු රෝහල්ගත කෙරුණු බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඒ අතරින් 48 දෙනකු 'අතිශය බරපතල' තත්වයේ පසුවන බවත් ඔවුහු පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශ ජනපති, අගමැති සහ ඇමතිවරු නීස් නගරයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාකච්ඡාවක

සවස 15:11 - රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලය වෙත ගිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් නීස් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට ශෝකය පල කරති.

දහවල් 14:50 - ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, අගමැති මැනුවෙල් වෝල්ස් සහ අමාත්‍යවරුන් පිරිසක් නීස් නගරයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාකච්ඡාවක සහභාගී වෙමින් සිටින ආකාරය ඉහත ඡායාරූපයේ දැක්වේ.

දහවල් 14:31 - නීස් ප්‍රහාරයට ගොදුරු වූ තවත් පනස් දෙනෙක් 'ජීවිතය සහ මරණය අතර සටනක' යෙදී සිටින බව ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

බීබීසී වේබ් අඩවිය ගෙන එන සජීවී වාර්තා

දහවල් 14:10 - ප්‍රහාරයට ගොදුරු වූවන්ට ලොව පුරා රටවල ජනතාවගේ ශෝකය සහ ප්‍රණාමය.

13:27 - එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් නීස ප්‍රහාරය හෙලා දකියි. ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කෙරෙන සටන උත්සන්න කළ යුතු බව මහ ලේකම්වරයා අවධාරණය කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කාම්බෝජයේ ප්‍රංශ ආයතනයට රැස් වුනු ජනතාව

දහවල් 13:15 - ප්‍රංශ පොලිසිය සැකකරුගේ මහල් නිවස සෝදිසි කළ බව ඒඑෆ්පී පුවත් සේවයේ වාර්තාකාරිය කැතරින් මාසියානෝ ට්වීට් පණිවුඩයකින් පවසයි. සැකකරුගේ නම පොලිසිය තවමත් නිවේදනය කර නැතත්, ඔහු Mohamed Lahouaiej-Bouhlel බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දහවල් 13:10 - ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ටියුනීසියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතිකයකු වන, තිස් එක් හැවිරිදි තිදරු පියකු බව ජනමාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරකයා බවට සැක කෙරෙන්නාගේ නිවස

දහවල් 12:52 - 'ඉස්ලාමීය රාජ්‍යය' කැරලිකාර සංවිධානයේ දෛනික ගුවන් විදුලි වැඩසටහනේදී නීස් ප්‍රහාරය පිළිබඳව කිසිවක් සඳහන් නොවූ බව BBC Monitoring පුවත් නිරීක්ෂණ අංශය වාර්තා කරයි.

මීට ඉහතදී බටහිර රටවලට එල්ල වූ ඇතැම් ප්‍රහාර පිළිබඳව අයිඑස් සංවිධානයේ 'අමාක්' නම් 'පුවත් ඒජන්සිය' හෝ අල්-බයාන් ගුවන් විදුලිය වගකීම භාරගත්තේය.

12:40 - බිහිසුණු ප්‍රහාරයෙන් අනතුරුව නීස් නගරයේ පැවති තත්වය කැමරා කාචවල සටහන් වූ අයුරු බීබීසී සිංහල වෙබ් අඩවියේ.

12:20 - ප්‍රහාරය එල්ල වූ අන්දම පිළිබඳව ඇසින් දුටුවන් කිහිප දෙනකුම බීබීසී යට විස්තර කළහ.

ගිනි කෙලි උත්සවය නිමාවීමෙන් මොහොතකට පසුව එතැනට ගිය Nice-Matin ප්‍රාදේශීය පුවත්පතේ වාර්තාකරුවකු වන ඩේමියන් අලෙමන්ද් පවසන්නේ ඉන් මොහොතකට පසුව ඉතා විශාල සුදු පැහැති ට්‍රක් රථයක් අධික වේගයෙන් ජනකාය දෙසට ධාවනය වනු තමන් දුටු බවයි.

"ලොරිය වේගයෙන් යද්දී ඒකෙ දෙපැත්තට මළ සිරුරු විසිවෙනවා මම දැක්ක. මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන කෑගහන සද්ද ඇහුන," ඔහු පැවසීය. ඇසින් දුටුවන් බීබීසී යට පල කළ තවත් අදහස් මෙතැනින්.

දහවල් 12:00 - ඝාතනයට ලක් වූ බොහෝ දෙනා ඉස්ලාම් භක්තිකයන් විය හැකි බව විදේශීය කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු ජෝන් ඩොනිසන් පවසයි.

දහවල් 11:50 - නීස් ප්‍රහාරය පිළිබඳව මහත් 'කම්පණයට සහ ශෝකයට' පත් වූ බව පවසන බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි තෙරේසා මේ, මෙම ඛේදවාචකයේදී බ්‍රිතාන්‍යය ප්‍රංශය සමඟ උරෙනුර ගැටී කටයුතු කරන බවත් සඳහන් කරයි.

දහවල් 11:35 - ප්‍රහාරයෙන් අනතුරුව අතුරුදහන්වූවන් සෙවීම පිණිස ඔවුන්ගේ ඥාතීහු සමාජ ජාලවල පිහිට පතමින් සිටිති. Nice-Matin නම් ප්‍රාදේශීය පුවත්පත ඒ වෙනුවෙන් විශේෂ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර තිබේ.

'බැස්ටයිල් දිනය' සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනය අවසන් වනවාත් සමගම රැස්ව සිටි පිරිස වෙත කඩා වැදුණු අධික බරකින් යුතු ට්‍රක් රථයක් මුහුදු සීමාව අසළින් කිලෝමීටර 2 ක් පමණ දුරක් දෙපසට හරවමින් මිනිසුන් යටකරමින් ධාවනය විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මග දෙපස සිටි පිරිස් යටකරමින් ට්‍රක් රථය ධාවනය කළ බවයි වාර්තා වන්නේ

රියදුරු අසුනේ සිටි පුද්ගලයා පොලීසිය විසින් මරා දමන තුරුම වෙඩි තැබූ අතර ඉන් අනතුරුව ට්‍රක් රථය තුළ තිබී ගිනි අවි සහ අත් බෝම්බ ආදිය ද හමුවිය.

ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශය විසින් දැනටමත් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.