හමුදාව හැර ගිය 9000 ක් 'අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්'

ඡායාරූප මූලාශ්‍රය, AFP
ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටින 25,000 ක පමණ සාමාජිකයන්ගෙන් 16,000 කට ආසන්න පිරිසක් පසුගියදා නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වූ බව බලධාරීහු පවසති.
පසුගිය ජුලි 12 වැනි දින අවසන් වූ පොදු සමා කාලය තුල එම පිරිස ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වූ බවයි, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර බීබීසී සංදේශයට කියා සිටියේ.
එලෙසෙ භාර නොවූ හමුදා භටයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
හමුදා නීතිය
"පොදු සමා කාලයක් අපි ප්‍රකාශ කරහම එම කාලයේ අපි කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. අපි එය නියම ආකාරයෙන් ඔප්පු කරලා තියෙනවා," බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසීය.
"නමුත් මෙම කාල සීමාවෙන් පිටත නිවාඩු නොගෙන සේවයට පැමිණියේ නැත්නම් ඒ අයව සිවිල් නීතිය මගින් අත්අඩංගුවට ගන්න වෙනවා. ඒ වගේම හමුදා නීතිය යටතේ ක්‍රියාකරන්න වෙනවා."
සෑම වසරකම පාහේ විශාල පිරිසක් මේ ආකාරයට හමුදාව හැර යන්නේ ඇයි දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, බොහෝ දුරට පුද්ගලික හේතු මත එසේ හමුදාව හැර යන බවයි.
හමුදා නිලධාරීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව හමුදාව සොයා නොබලන්නේ දැයි විමසූ විට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසුවේ, ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ නිසි වැඩපිළිවෙලක් තිබෙන නමුත් ඇතැම් අවස්ථාවල එම ප්‍රශ්න නිසි ආකාරයට යොමු නොකිරීම හේතුවෙන් එවැනි තත්වයක් උදා වන බවයි.
සේවය අතහැර ගිය පිරිස් මෙන්ම සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ගේ අඩු පාඩු පිරවීම පිණිස හමුදාව නිරන්තරයෙන් නව භට පිරිස් බඳවා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.