තුර්කි කුමන්ත්‍රණ ප්‍රයත්නයේ උණුසම් අවස්ථා
තුර්කියේ බලය අල්ලා ගැනීම සඳහා කැරලිකාර හමුදා කණ්ඩායම් විසින් ඊයේ රාත්‍රියේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබූ අවස්ථාවේ සිට එය මැඩලනු ලැබූ මොහොත දක්වා උණුසුම් අවස්ථා කැමරා කාචයේ මේ අයුරින් සටහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිකුරාදා රාත්‍රියේ තුර්කියේ බලය සියතට ගත් බව එරට හමුදා කණ්ඩායමක් තුර්කි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළ අතර සන්නද්ධ හමුදා කණ්ඩායම් ඉස්තාන්බුල් සහ අන්කාරා අගනුවර ප්‍රධාන ස්ථාන කිහිපයකම බලය පැතිරවීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැරලිකාර සොල්දාදුවන් කණ්ඩායමක් යුද්ධ ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ආණ්ඩුව අල්ලා ගැනීමේ ප්‍රහාරය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව බෝම්බ සහ වෙඩි තැබීම් සිදු වූ අතර අන්කාරා සහ ඉස්තාන්බුල් නගරවල යුද පිටියක තත්වයකුයි දක්නට ලැබුණේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊයේ (15) රාත්‍රියේ කුමන්ත්‍රණය දියත් කෙරෙන අවස්ථාවේ තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටි ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් සිය ජංගම දුරකථනය මගින් රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූවේය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වීදි බැස ආණ්ඩුවට එරෙහි කැරැල්ල පරාජය කරන ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේම ඉස්තාන්බුල් නුවර බලා ගුවනින් ගමන් ගත් අතර අනතුරුව ඔහු සිටි නිවාඩු නිකේතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවක්ද වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තුර්කියේ ජේෂ්ඨ බලධාරියෙකු බීබීසියට කියා සිටියේ රාත්‍රිය පුරා අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර වෙඩි තැබීම් සහ පිපිරවීම් සිදු කළ සන්නද්ධ හමුදා කණ්ඩායම් සාමාජිකයන් 1563කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පොලිස් රැඳවුම් භාරයට ගෙන ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නගරයට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයන් අනූ දෙනෙකු ඝාතනය වී ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ප්‍රතිස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නිදහස වෙනුවෙන් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය දියත් කළ බවයි එරට පාලන බලය අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කළ කැරලිකාර හමුදා කණ්ඩායම් ප්‍රකාශ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්නා මෙන් තුර්කි ජනාධිපතිවරයා ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව මහජනතාව විශාල වශයෙන් වීදි බැස සිටි බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත් තුර්කියේ ආණ්ඩුව පෙරැළීමේ කුමන්ත්‍රණ ප්‍රයත්නය ව්‍යවර්ථ කරන ලද බව වැඩ බලන තුර්කි යුද හමුදාපති ජනරාල් උමිත් ඩන්දාර් (Umit Dundar කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපොළ ඉදිරියට රැස් වුනු තුර්කි ජනතාව හමුදා කුමන්ත්‍රණයට විරෝධය පාමින් විශාල උද්ඝෝෂණයක නිරත විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආණ්ඩුවට සහය දක්වන ජනකාය මාධ්‍යයේ ඉස්තාන්බුල් ගුවන්තොටුපළෙන් පිටතට පැමිණෙන ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් රොයිටර්ස් කැමරා කාචයේ සටහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් පසු අද උදෑසන තුර්කිය පුරා පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කැරලිකාර හමුදා බටයන් එකසිය හතර දෙනෙකු රජයේ ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
ආණ්ඩුව පෙරලා දැමීමට ගත් මේ උත්සාහය රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර එමගින් පැහැදිළි වන්නේ තුර්කි හමුදාවෙන් ඉවත් කළ යුතු කොටසක් සිටින බව යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.