තුර්කි කුමන්ත්‍රණය: පොලිස් නිලධාරීන් දහස් ගණනකගේ වැඩ තහනම්

ඉස්තාන්බුල් අගනුවර පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් යොදවා තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉස්තාන්බුල් අගනුවර පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් යොදවා තිබේ

තුර්කියේ පොලිස් නිලධාරීන් 8,000 කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව බලධාරීහු පවසති.

සති අන්තයේ දියත් වූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට සැක පිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ජනරාල්වරුන් ඇතුළු හමුදා නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් ඇතුළු 6,000 කට අධික පිරිසක්ද කුමන්ත්‍රණය හා සම්බන්ධව අත්අඩංගුවේ පසුවෙති.

කැරැල්ලට තුඩු දුන් 'වෛරසය' අතු ගා දමන බවට ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් සපථ කර තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදා භටයකු ඉරිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ජනතා කෝපය එල්ල විය

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්කම මේ අතර අවධාරණය කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පාලනයට එක්සත් ජනපදයේ සහාය හිමි වන බව අවධාරණය කළේය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කරන නමුත්, නීතියෙන් පරිබාහිරව කෙරෙන ක්‍රියාකාරකම්වලින් වලකින මෙන් ඔහු ඉල්ලීමක් කළේය.

එක්සත් ජනපදයේ වෙසෙන තුර්කි ජාතික පූජකවරයකු වන ෆෙතුල්ලා ගුලන් කුමන්ත්‍රණය පිටුපස සිටින බවට තුර්කි ආණ්ඩුව පවසන නමුත් පූජකවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

සඳුදා දිනය ඇතුලත රට පුරා කරන ලද වැටලීම්වලදී ජනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගන්නා ලද බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කුමන්ත්‍රණ සැකකරුවන් අන්කාරා නුවර අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාව

මේ අතර හෙලිකොප්ටරයකින් ග්‍රීසියට පලා ගිය හමුදා නිලධාරීන් අට දෙනකු නීතිවිරෝධී ලෙසින් රටට ඇතුළුවීමේ චෝදනා මත සඳුදා ග්‍රීසියේ අධිකරණයකට ඉදිරිපත් කෙරුණි.

ඔවුන් ග්‍රීසියේ දේශපාලන රැකවරණ පතා තිබෙන නමුත් ඔවුන් යළි භාරදෙන මෙන් තුකිය ග්‍රීසියෙන් ඉල්ලීමක් කර තිබේ. නඩු විභාගය බ්‍රහස්පතින්දා දක්වා කල් තැබුණි.

තුර්කියේ යළිත් මරණ දඬුවම පැනවීම කෙරෙහි සිය අවධානය යොමු වී තිබෙන බවත් ජනාධිපති එර්දොවාන් පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

හෙලිකොප්ටරයකින් ග්‍රීසියට පලා ගිය හමුදා නිලධාරීන් අට දෙනකු නීතිවිරෝධී ලෙසින් රටට ඇතුළුවීමේ චෝදනා මත සඳුදා ග්‍රීසියේ අධිකරණයකට ඉදිරිපත් කෙරුණි