පාර්ලිමේන්තුව අභිබවා නීති පැනවීමේ බලය එර්දොවාන් අතට

තුර්කියට හදිසි නීතිය
ඡායාරූප ශීර්ෂ වැකිය,

තමා පමණ ඉක්මවා බලය යෙදවූ බවට එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් පවසයි.

පසුගිය සතියේ තුර්කියේ හමුදා කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් අනතුරුව එරට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් පියවර ගෙන තිබේ.

තුර්කි ව්‍යවස්ථා නීතියට අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට තිබියදී රටේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුව අභිබවා නීති සම්මත කිරීමේ සහ තීරණය ගැනීමේ බලය හිමි වන අතර පුරවැසියන්ගේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට බලය පැවරෙයි.

තුර්කි හමුදා කණ්ඩායමක් විසින් රටේ බලය අල්ලා ගැනීමට ගත් අසාර්ථක ප්‍රයත්නයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යට එල්ල වී ඇති තර්ජන මැඩ පැවැත්වීමේ පියවරක් ලෙස හදිසි නීතිය පැනවීමට ක්‍රියා කළ බව පැවසූ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මෙය දින අනූවක කාලයකට බල පැවැත්වෙන බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට පත් වූ තුර්කි හමුදා සොල්දාදුවන් පිරිසක්

තුර්කි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ තීරණය දැඩි ලෙස හෙළා දකිති.

කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක පිට පනස් දහසකට අධික පිරිසක් ඔවුන්ගේ ධුර වලින් පහ කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට තුර්කි බලධාරීන් මේ වන විට කටයුතු කර තිබේ.

තුර්කියේ සිදු කෙරෙන විශාල පරිමාණයේ අත්අඩංගුවට ගැනීම් සහ රාජ්‍ය සේවකයන් රැකියා වලින් ඉවත් කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ නායකයන් විවේචන ඉදිරිපත් කරන නමුත් ජනාධිපති රෙජේප් තයීයප් එර්දොවාන් කියා සිටියේ තමා පමණ ඉක්මවා බලය යෙදවූ බවට එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන බවයි.