බංග්ලාදේශ් ඉස්ලාමීය ත්‍රස්තවාදය මැඩලීමට හත්දහසක ඉමාම් සමුළුවක්

ඉස්ලාම් බැතිමතකු කුරානය කියවමින්
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉස්ලාම් බැතිමතකු කුරානය කියවමින්

බංග්ලාදේශ් ආණ්ඩුව එරට හත් දහසකට අධික ඉස්ලාමීය ඉමාම්වරුන් සම්මන්ත්‍රණයක් සඳහා කැඳවනු ලැබ ඇති බවක් වාර්තා වෙයි.

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් කෙරෙන් එල්ල වෙමින් පවතින දැඩි තර්ජනය පිළිබඳවයි එම ඉමාම් සමුළුවේ දී සාකච්ඡා කරනු ලබන්නේ.

එවැනි සමුළුවක් කැඳවීමට ආසන්න හේතුව වී තිබෙන්නේ පසුගිය දා එල්ල කෙරුණ ඝාතන රැල්ලයි.

සන්නද්ධ කණ්ඩායමක් බංග්ලාදේශයේ ආපනශාලාවක් වට කරනු ලැබීමේ ක්‍රියාවකින් පසුගිය දා විසි දෙනකුට අධික ජීවිත විනාශයක් සිදු විය.

ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් ලියැවුන විශේෂයෙන් පිළියෙළ කරන ලද ධර්ම දේශනා පවත්වන මෙන් බංග්ලාදේශ් බලධාරීන් විසින් පසුගිය දා රටේ සියලු මුස්ලිම් පල්ලි වලින් ඉල්ලීමක් ද කර තිබුණි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පල්ලිය තුළ විශේෂ දේශනා පැවැත්වීම ඩකා බලධාරීන්ගේ සැලැස්මයි

ඩකා බලධාරීන්ගේ අලුත්ම සැලැස්ම සතිපතා එවැනි ධර්ම දේශනයක් ලිඛිත මට්ටමින් පිළියෙළ කොට ඒවා පාවිච්චියට ගනු ලබන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමයි .

එහෙත් ගතානුගතිකවාදී මුල්ලාවරුන් කණ්ඩායමක් එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කර ඇති අතර ආණ්ඩුවේ වැඩ පිළිවෙළට එරෙහිව ලබන සතියේ විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.