රුසියාවට 'සම්පූර්ණයෙන්ම' ඔලිම්පික් තහනම් නෑ

2016 රියෝ ඔලිම්පික් උළෙලෙන් රුසියාව සම්පූර්ණයෙන්ම ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

වසර හතරක කාලයක් පුරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී රුසියානු මලල ක්‍රීඩකයන් සිය රජයේ අනුග්‍රහය ඇතිව තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තොරතුරු හෙළි වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසුයි ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ.

Image copyright AP

පසුගිය සතියේ රුසියාව ඉදිරිපත් කර තිබූ අභියාචනා විභාග කළ ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත අධිකරණය කියා සිටියේ රුසියානු රජයේ අනුග්‍රහයෙන් එරට මලල ක්‍රීඩකයන් තහනම් උත්තේජන භාවිතා කළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වී ඇති අතර අභියාචනා හැට අටම ප්‍රතික්ෂේප කරන බවයි.

එබැවින් තහනම් උත්තේජක චෝදනා යටතේ වරදකරුවන් වී තරග තහනමකට ලක්ව සිටින කිසිදු රුසියානු මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ වරම් හිමි වන්නේ නැත.

එමෙන්ම රුසියාව වෙනුවෙන් තරගවැදීමට ඔලිම්පික් වෙත එන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා දැඩි ලෙස තහනම් උත්තේජක පරීක්ෂණ වලට භාජනය කිරීමට කටයුතු කරන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩි දුරටත් කියා සිටියේ.