පළමු දූෂකයා අතින් නැවත 'දූෂණයට' ලක් වූ දැරිය මරුට

පළමු දූෂකයා අතින් නැවත 'දූෂණයට' ලක් වූ දැරිය මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලිංගික හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැවති විරෝධතාවක්

මාස අටකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ බව පැවසෙන දාහතර හැවිරිදි දැරියක් මරණයට පත් වී ඇති බව ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වෙයි.

පළමුවරට දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉහත කී පුද්ගලයා දැනටමත් අපරාධ චෝදනාවලට මුහුණ දී සිටියි.

පළමු දූෂණය හා සම්බන්ධ අපරාධ චෝදනා විභාගය ආරම්භ වීමට නියමිතව තිබියදී මැයි මාසයේදී ඔහු විසින් දැරිය පැහැර ගෙන ගොස් සතියක් පුරා නැවත නැවතත් දූෂණයට ලක් කොට ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති.

ඇසිඩ් පානය කිරීමට ඇයට බල කොට ඇති බවටත් ඔවුහු චෝදනා කරති.

ශරීරයේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ඇය මරුමුවට පත් වූ බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කොට ඇති ආකාරය කාන්තා සංවිධානවල විවේචනයට ලක් වී තිබේ.

මීට වසර තුනකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයන් පස් දෙනා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් සිසුවියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.