සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් දහයක් මරුට

Plume of smoke from Mogadishu blast

ඡායාරූප මූලාශ්‍රය, Abdulaziz Billow Ali

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරයත් සමග ගුවනට එක් වූ දුමාරය ඈතට පෙනෙන අයුරු

සෝමාලියාවේ මොගදිෂු නුවර ගුවන්තොටුපලේ ප්‍රධාන පිවිසුම ආසන්නයේ පුපුරා ගිය බෝම්බ දෙකකට හසු වී පුද්ගලයන් දස දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව එරට පොලිසිය පවසයි.

විශාල පිපිරුම් හඬවල් දෙකක් සමග වෙඩි හඬ ඇසුණු බවත් වාර්තා වේ.

මෝටර් රථයක් තුළ සිටි මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් මුරපොළක් ආසන්නයේ දී එක් බෝම්බයක් පුපුරවා හැර ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් කියා සිටියේය.

මරුමුවට පත් පිරිස අතර ඉහත කී මුරපොළේ සේවයේ යෙදී සිටි ආරක්ෂකයන්ද සිටින බව විශ්වාස කෙරේ.

AU troops in Somalia

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අප්‍රිකානු සංගමයේ හමුදා අල් ශබාබ් කැරලිකරුවන්ට එරෙහිව සෝමාලියාවේ ප්‍රදේශ ගණනාවක සටන් වැදී සිටිති

අප්‍රිකානු සංගමයේ හමුදා මූලස්ථානයක්, එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩල සහ විදේශීය තානාපති කාර්යාල පිහිටි ආරක්‍ෂිත කලාපය තුළ ගුවන්තොටුපල පිහිටා ඇත.

ඉස්ලාමීය කැරලි කණ්ඩායමක් වන අල් ශබාබ් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.