තායිවානය එරට ස්වදේශීය ගෝත්‍ර වලින් සමාව අයදියි

Representatives, dressed in traditional clothing, from some of Taiwan"s 16 recognised indigenous tribes, attend a ceremony inside the Presidential Office building in Taipei on August 1, 2016
ඡායාරූප ශීර්ෂ වැකිය,

උත්සවය වෙනුවෙන් ස්වදේශීය ගෝත්‍ර දාසයක් නියෝජනය කරන ජන කණ්ඩායම් සහභාගී විය

තායිලන්ත ජනාධිපතිනිය සායි ඉංග්‍ වෙන් එරට මුල් පදිංචිකරුවන් වන ස්වදේශීය ගෝත්‍ර ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ මුහුණ දුන් තාඩන පීඩන වෙනුවෙන් සමාව අයැද සිටියාය.

තායිලන්ත පාලන බලය හිමි කර ගත් නායකයෙකු ස්වදේශීය ගෝත්‍ර මුහුණ දෙන අපහසුතා සහ මර්ධන හඳුනාගෙන ඒ වෙනුවෙන් සමාව අයැද සිටි ප්‍රථම අවස්ථාව මෙයයි.

එක රටක් එක ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් තායිවානය සත්‍යට මුහුණ දිය යුතු බවයි එරට හඳුනාගත් ස්වදේශීය ගෝත්‍ර දාසයක ජන කණ්ඩායම් ඇමතූ ජනාධිපතිනිය කියා සිටියේ.

ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් වැඩි දුරටත් කියා සිටියේ ස්වදේශීය ගෝත්‍රික ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් විශේෂ අධිකරණ කොමිසමක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

මින් වසර හාරසීයකට පමණ පෙර ස්වදේශීය ගෝත්‍රිකයන් ජීවත් වූ තායිවානයට චීනයෙන් විශාල වශයෙන් පැමිණි ජන කණ්ඩායම් නව ජනපද පිහිටුවීය.

ජනගහනයෙන් 2% ක්

මේ හේතුවෙන් තායිවානයේ මුල් පදිංචිකාර ගෝත්‍ර වලට සිය පරම්පරා ගත ඉඩම් අහිමි වූ අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාවට බාධා එල්ල විය. නව නීති රීති හමුවේ එම ගෝත්‍ර වලට අවේනික සංස්කෘතිය මර්ධනයට ලක් විය.

වර්තමානය වන විට අනෙකුත් තායිවාන වැසියන්ට වඩා සමාජ පීඩනයට ලක් වන මෙම ගෝත්‍ර වල වැසියන් ඉතා කුඩා වේතනයක් ලබන අතර විශාල පිරිසක් විරැකියාවෙන් පෙළෙයි.

මිලියන විසි තුනක තායිවාන ජනගහනයෙන් 2% ක ප්‍රතිශතයක් සපුරන්නේ මෙම ස්වදේශීය ගෝත්‍රික ජනතාව විසිනි.

වසර හාරසීයක් මුළුල්ලේ තායිවානයේ බලයට පැමිණි සියලුම රජයන් ඉතා දරුණු ලෙස මුල් පදිංචිකාර ස්වදේශීය ගෝත්‍ර ජනතාව මර්ධනයට ලක් කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑමේ යෙදුනු බව කියා සිටි ජනාධිපතිනිය වැඩි දුරටත් පැවසුවේ ඒ වෙනුවෙන් වාචික සමාව අයැදීමක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

තායිවානයේ ස්වදේශීය ගෝත්‍ර වල උන්නතිය වෙනුවෙන් ඔවුන්ට පාලන බලතල ලබා දීමටත්, ඉඩම් අයිතිය පුළුල් කර ගැනීමට අවශ්‍ය සහය සහ ගෝත්‍රයන්ට ආවේනික භාෂා රැක ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ලබා දීමට වර්තමාන රජය ක්‍රියා කරන බවට ජනාධිපතිනිය පොරොන්දු දුන් බවයි AFP පුවත් සේවය වාර්තා කළේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

තායිවානයේ 'යමි' (Yami tribe) ගෝත්‍රයේ නායක අසූ හැවිරිදි කාපෙන් නගානායෙන් ජනාධිපතිනිය හමු වූ අවස්ථාව

තායිවානයේ 'යමි' (Yami tribe) ගෝත්‍රයේ නායක අසූ හැවිරිදි කාපෙන් නගානායෙන් (Capen Nganen) උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේ සමාව අයැදිමින් ජනාධිපතිනිය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය අවංකවම ක්‍රියා කරතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මීට වඩා ප්‍රතිපත්තිමය වෙනසක් තමන් බලාපොරොත්තු වූ බවයි තායිවාන ස්වදේශීය ගෝත්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරීන් පවසන්නේ.

මේ අතර පාරම්පරික දඩයම් කිරීමේ අයිතිය රැක දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පසුගිය දා ජනාධිපතිනියගේ කාර්යාලය ඉදිරිපිට ගෝත්‍රික ජනතාව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

තායිවාන ස්වදේශ ගෝත්‍ර වලට අයත් භූමි ප්‍රදේශ ජාතික වන උද්‍යාන වශයෙන් නම් කිරීම හේතුවෙන් ඔවුන්ට මාළු ඇල්ලීමට, දඩයම් කිරීමට සහ වනාන්තර වල ජීවත් වීමට විශේෂ බලපත් ලබා ගැනීමට සිදු වීම සම්බන්ධයෙන් ගෝත්‍රික ජනතාව කෝපයට පත් ව සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයෙන් පසුගිය ජනවාරි මාසයේ බලයට පැමිණි ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් මුල් පදිංචිකාර ජනතාවගෙන් පැවත එන තායිවානයේ පළමු නායිකාවයි.