රුසියානු හෙලිකොප්ටරයක් සිරියාවේදී වෙඩි තබා බිම හෙළයි

Image copyright Reuters
Image caption බිම හෙලන ලද යානයේ සුන් බුන් සහිත ඡායාරුප අන්තර්ජාලයේ පළවී තිබුණි

සිරියාවේ උතුරුකරයේ කැරලිකරුවන් විසින් රුසියානු හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබ ඇති බව රුසියානු හමුදා බලධාරීහු පවසති.

ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා Mi-8 වර්ගයට අයත් මෙම යානය බිම හෙළන මොහොතේ මගීන් පස් දෙනෙකු සිටි බවයි රුසියානු හමුදාව පවසන්නේ.

හෙලිකොප්ටර් යානයේ සිටි සියලු දෙනා මිය ගොස් ඇති බව රුසියානු බලධාරීහු නිවේදනය කළෝය.

මෙම යානය අලෙප්පෝ නගරයට මානවීය ආධාර රැගෙන ගොස් ආපසු එමින් සිටි බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ නමුත් මෙම හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරය එල්ල කළේ කුමන කැරලි කණ්ඩායමද යන්න තවමත් පැහැදිලි නැත.

Image copyright AP
Image caption ගැටුම් පවතින අලෙප්පෝ නගරය

රුසියාව, සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන අතර සිරියානු රජයට එරෙහි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

අලෙප්පෝ නගරයේ ගැටුම්වලට මැදි වී සිටින සාමාන්‍ය වැසියන්ට සහ අවි බිම තැබීමට කැමති කැරලිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් ව යාමට ඉඩ සලසමින් සිරියාව සහ රුසියාව ආරක්‍ෂිත මාර්ගයක් නිවේදනය කර තිබේ.

නමුත් තමන්ට ප්‍රහාර එල්ලවේය යන සැකය නිසා එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සුළු පිරිසක් බවයි වාර්තා වන්නේ.