ඉරාන 'සන්නද්ධ ප්‍රහාරකයන්' විසි දෙනෙකුට එල්ලුම් ගස

An Iranian official prepares a noose for the execution of a man convicted of murder in the city of Noor (15 April 2014)
ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය වසරේ ඉරානයේ අඩුම තරමින් 977 දෙනෙකු පමණ එල්ලුම් ගහට නියම කර මරා දමා ඇති බවයි ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ.

ඉරානයේ සන්නද්ධ ප්‍රහාර වලට සම්බන්ධ බවට වැරදිකරුවන් කෙරුණ සුන්නි මුස්ලිම් සිරකරුවන් විසි දෙනෙකු එල්ලා මරා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම සිර කරුවන්ගේ නඩු විභාග අසාධාරණ බවට චෝදනා එල්ල වෙමින් පවතියි.

2009 සහ 2011 වසර දෙක ඇතුළත කාලයේදී එල්ල කෙරුණ සන්නද්ධ ප්‍රහාර වලට සම්බන්ධ මෙම පුද්ගලයන් විසින් කාන්තාවන් සහ දරුවන් ඝාතනය කර ඇති බවටයි චෝදනා ඔප්පු වී තිබෙන්නේ.

ෂියා මුස්ලිම්වරු වැඩි වශයෙන් ජීවත් වන ඉරානයේ පසුගිය වසරේ අඩුම තරමින් 977 දෙනෙකු පමණ එල්ලුම් ගහට නියම කර මරා දමා ඇති බවයි ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ.

මානව හිමිකම් සංවිධාන මෙම සිරකරුවන් විසි දෙනා එල්ලා මරා දැමීම දැඩි ලෙස විවේචනයට ලක් කරන අතර චෝදනා කරන්නේ ඔවුන් ඉතා අසාධාරණ නඩු විභාග හරහා වැරදි කරුවන් කෙරුණ බවයි.

එල්ලා මරා දැමුණු ශාහ්රාම් අහමදි නම් සිරකරුට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන් බලය යොදා ලබා ගනු ලැබූ පාපොච්චාරණයක් පදනම් කර ගෙන ඇති බවයි ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ඉරානයේ මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය පවසන්නේ.

ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ මරණ දඬුවමට යටත් කළ සිර කරුවන් කිසිවෙකුට බලධාරීන් විසින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන් මුණ ගැසීමට ඉඩක් ලබා දී නොමැති බවයි.

ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තා වලට අනුව පසුගිය වසරේ ලොව වැඩිම පිරිසක් මරණ දඬුවමට යටත් කළ රටවල් අතරින් දෙවන ස්ථානය හිමි වුනේ ඉරානයටයි. පුද්ගලයන් දහසකට අධික ප්‍රමාණයක් එල්ලුම්ගසට නියම කළ චීනයට පළමු ස්ථානය හිමි විය.