2016 ඔලිම්පික් තරඟාවලිය අද ඇරඹෙයි

Olympic Games
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔලිම්පික් තරඟාවලියේ පිහිනුම් තරඟ සඳහා සටන් වදින සරණාගත ක්‍රීඩා කණ්ඩායමේ යුස්රා මර්දිනි සහ රාමි අනීස්

2016 ඔලිම්පික් තරඟාවලිය අද(05) රියෝ ද ජනේරෝ නගරයේ ආරම්භ වනවාත් සමග බ්‍රසීල ජනතාව ප්‍රීතියෙන් ඉපිළයන බව තමන්ට විශ්වාස යැයි එරට වැඩබලන ජනාධිපති මයිකල් ටෙමර් ප්‍රකාශ කළේය.

දරුණු දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයක් තිබියදී ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබා දීම තුලින් පැහැදිලි වන්නේ බ්‍රසීලයට ඕනෑම බාධාවක් අභිබවා ජය ලැබීමට ඇති හැකියාව බවයි ඔහු පැවසුවේ.

මෙම තරඟාවලිය පැවැත්වීම සඳහා යන අධික වියදම පිළිබඳව කෝපයට පත්ව සිටින විරෝධතාකරුවන්ගෙන් එල්ල විය හැකි බාධා මැඩපැවැත්වීම සඳහා ඉතා ඉහළ මට්ටමේ ආරක්ෂක විධි විධාන රියෝ නගරය පුරා යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මැරකානා ක්‍රීඩාන්ගනයේ දී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ආරම්භක උත්සවයට වියදම් අඩුකර ගැනීමේ අරමුණින් සීමා කිරීම් කර තිබුණද සංවිධායකයින් පවසන්නේ බ්‍රසීල සංස්කෘතිය සහ ප්‍රජා විවිධත්වය ඉස්මතුවන අන්දමේ අනර්ඝ උත්සවයක් පැවැත්වෙනු ඇති බවයි.