බන්ධනාගාර ප්‍රධානියාට සිරකරුවකුගෙන් ප්‍රහාරයක්

  • 2016 අගෝස්තු 5
Paul Cawkwell
Image caption වෙලෑන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානී පෝල් ක්වොක්වෙල් ට ඉතා දරුණු ලෙස පහර දී ඇති බවයි පැවසෙන්නේ

බ්‍රිතාන්‍යයේ නෝෆොක් හි වේලෑන්ඩ් බන්ධනාගාරයේ සිරකරුවකු විසින් බන්ධනාගාර පාලකවරයෙකුට ඉතා දරුණු ලෙස පහර දී ඇත.

පෝල් ක්වොක්වෙල් නම් ඔහු පහර කෑමට ලක්ව ඇත්තේ නෝෆොක් හි වේලෑන්ඩ් බන්ධනාගාරයේ ආපනශාලාවේ දී සිරකරුවකු සමග කතා කරමින් සිටියදී බවයි බීබීසීයට වාර්තා වූයේ.

බදාදා සිදු වූ ප්‍රහාරයෙන් පසු අදාළ සිරකරුවා වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යවා ඇති බවයි නිර්නාමිකව බීබීසීයට තොරතුරු සැපයූවෙක් සඳහන් කළේ.

එවැනි පහරදීමක් පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යංශය සනාථ කොට තිබේ.

'සී' කාණ්ඩයේ බන්ධනාගාර මැදිරිවල සේවකයන් යෙදවීම පිලිබඳ පසුගිය වසරේ නිකුත්කළ වාර්තාවක් මගින් සොයා ගත් කරුණු පිළිබඳවද මේ සම්බන්ධව තොරතුරු සැපයූවන්ගේ අවධානයට ලක්වී තිබේ

බන්ධනාගාරයේ ඉහළ තනතුරු කිහිපයක්ම දරා පළපුරුද්දක් ඇති බන්ධනාගාර පාලක ක්වොක්වෙල් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසුවේ සේවකයන්ට පහරදීම කිසිසේත් නොඉවසන අතර චූදිතයන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

Image caption වේලෑන්ඩ් බන්ධනාගාරය තුළ දහසකට වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටින අතර මේ වසරේ කලහකාරී සිදුවීම් වල වැඩිවීමක් ඇති බවයි බලධාරීන් පවසන්නේ

වේලෑන්ඩ් බන්ධනාගාරය තුළ දහසකට වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටින අතර මේ වසරේ කලහකාරී සිදුවීම් වල වැඩිවීමක් ඇති බවයි බලධාරීන් පවසන්නේ

පසුගිය මැයි මාසයේ අහාර පිලිබඳ ආරවුලක් සඳහා රැඳවියන් 20 දෙනෙකු සහභාගී වී ඇති අතර ජූනි මාසයේ දී රැඳවියන් විසින් නිලධාරීන් අත තිබූ යතුරු උදුරා ගැනීමට උත්සාහ කිරීමක් පිළිබඳව ද වාර්තා වී ඇත.

බීබීසී යෙන්