මුම්බායි නුවරත් වකුගඩු ජාවාරමක්

Image caption ඉන්දියාවේ විශාල වශයෙන් පැතිරුණු නීතිවිරෝධී අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර අවයව මිලට ගැනීමට කළු වෙළඳපොළක් බිහි වී තිබේ.

ඉන්දියාවේ වකුගඩු ජාවාරමක් පවත්වාගෙන ගිය බවට සැක පිට වෛද්‍යවරු පස් දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කිරීමට එරට පොලිසිය සමත් වී තිබේ.

බටහිර මුම්බායි නගරයේ හිරනන්දනී රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරු විසින් නීතිවිරෝධී වකුගඩු ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

රෝහලේ සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ඈත ගම් පළාත් වල දුප්පත් වැසියන් විශාල පිරිසක් මුදලට සිය වකුගඩු විකිණීමේ යෙදී ඇති බවයි.

පසුගිය ජුනි මාසයේ දිල්ලි නුවර ප්‍රධාන පෙළේ රෝහලක පවත්වා ගෙන ගිය මෙවැනි වකුගඩු ජාවාරමක් වැටලීමට පොලිසිය සමත් විය.

ජාවාරමට සම්බන්ධ බවට සැක පිට දාහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ පොලිසිය කියා සිටියේ ඒ අතර වකුගඩුවක් මිලට ගත් පුද්ගලයෙකු සිටින අතර සැත්කමින් පසු ඔහු ජාවාරමේ ඒජන්ත වරයෙකු ලෙස ක්‍රියා කර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.

ඉන්දියාවේ නීතියට අනුව රෝගියෙකුට අවයව ලබා ගත හැක්කේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පමණක් වන අතර ඥාතියකු නොවන ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් අවයවයක් ලබා ගැනීම නීතියෙන් තහනම් කොට තිබේ.

මේ හේතුවෙන් ඉන්දියාවේ විශාල වශයෙන් පැතිරුණු නීතිවිරෝධී අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර අවයව මිලට ගැනීමට කළු වෙළඳපොළක් බිහි වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර