පොලිසියට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ චෝදනා

Image caption ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විදෝදෝ

ඉන්දුනීසියාවේ පොලිසිය විසින් රට පුරා මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක් සිදු කරනු ලබන බවට එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් දියත් කිරීමට ජනාධිපති ජෝකෝ විදෝදෝ නියෝග කර තිබේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදීමට වරදකරු වූ පුද්ගලයෙකු මරණ දඬුවමට යටත් කිරීමට පෙර සිදු කරන ලද පාපොච්චාරණයකින් හෙළි වූ කරුණු පදනම් කරගෙනයි මෙම විභාගය පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ.

මරණ දඬුවමට යටත් කිරීමට පෙර වරදකරු ප්‍රකාශයක් කරමින් කියා තිබෙන්නේ සිය මත්කුඩු ජාවාරම පවත්වාගෙන යාමට සහය දුන් පොලිස්, හමුදා, සහ රේගු නිලධාරීන්ට දීර්ඝ කාලීනව අල්ලස් ලබා දුන් බවයි.

පොලිස් නිලධාරීන්ට සහ හමුදා නිලයන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඉතා කෝපයට පත් වී සිටින අතර ජනාධිපති ජෝකෝ විදෝදෝ කියා සිටියේ ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටනට ප්‍රමුඛත්වය දී ක්‍රියා කරන බවයි.