වන අරණෙන් අලි හිරගෙදරට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හොරොව්පතානේ අලි හිරගෙයක්

ශ්‍රී ලංකාවේ දරුණු වන අලින් අල්ලා ඔවුන් ගෙන ගොස් රඳවනු ලබන හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය 'අලි හිර ගෙදරක' තත්වයට පත් වී ඇති බව නම හෙළි කිරීමට අකමැති වනජීවී නිලධාරීන් පිරිසක් පවසති.

මෙම ශක්තිමත් අලි ඇතුන්ගේ ප්‍රජනන කාර්යය සඳහා ප්‍රමාණවත් ගැහැණු සතුන් නොමැති වීම නිසා ඔවුන් සතු ශක්තිමත් ජාන ඉදිරි පරම්පරාවට ගෙන යාමට නොහැකි තත්වයක් උදා විය හැකි බවයි ඉහත කී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

හොරොව්පතාන අලි රැඳවුම් කලාපය තුළ දැනට නිරීක්ෂණය කර ඇත්තේ ගැහැණු සතුන් දෙදෙනෙකු පමණි.

මීට අමතරව එම මධ්‍යස්ථානය වෙත අලුතින් රැගෙන යන අලින්, රැඳවුම් කලාපයේ සිටින ශක්තිමත් අලින්ගේ ප්‍රහාරයට ලක් වී තුවාල ලබන බවත් ඇතැම් විට ඔවුන් මිය යාමේ අවදානමක් පවතින බවත් වනජීවී ආරංචි මාර්ග පවසයි.

අලි වැට

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා ඉදි කර ඇති විදුලි වැට ද සාමාන්‍ය විදුලි වැටකට වඩා ප්‍රබල විදුලි ධාරිතාවක් සහිත යි.

මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අපට ඒවා ඇති වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ සූරියවැව මීගහජඳුර කැලෑ ප්‍රදේශයේදී අල්ලා ගත් මද කිපුණු අලියෙකු හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගිය ආකාරයයි.

මෙම අලියාගේ ප්‍රහාරයට ලක් වී කාන්තාවක මිය යාමෙන් පසුවයි එම මෙහෙයුම දියත් වුණේ.

හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කැලෑ එලි කිරීම නිසා අලි ඇතුන්ට සිය නිජ බිම් අහිමි යාම හේතුවෙන් එම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව පරිසරවේදීහු පවසති.