හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට වෛද්‍ය පරීක්ෂණ

  • 2016 අගෝස්තු 14
2009 වසරේදී රත්මලාන පුනුරුත්ථාපන කඳවුරේ රඳවා සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනෙක් Image copyright Getty Images
Image caption 2009 වසරේදී රත්මලාන පුනුරුත්ථාපන කඳවුරේ රඳවා සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනෙක්

රජය විසින් පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ තිබේ.

පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ සෞඛ්‍ය පරිහානියට පත් කිරීමේ අරමුණින් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී ඔවුන්ට විෂ සහිත ඖෂධ වර්ග එන්නත් කොට ඇති බවට පළ වන වාර්තාවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉහත කී වැඩපිළිවල ආරම්භ කළ බවයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් කියා සිටියේ.

පුනරුත්ථාපනය වීමෙන් පසුව මියගිය හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් පිළිබඳ තොරතුරු සොයා ඒ සම්බන්ධයෙන් පළමුව පරීක්ෂණයක් ආරම්භ කරන බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව පුනරුත්ථාපනය වී දැනට විවිධ පළාත්වල වෙසෙන හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් එම පළාත්වල රජයේ රෝහල් හරහා පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු සූදානම් කොට ඇති බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පළාතේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා වට තුනක් පවත්වා ඇති බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සඳහා උතුරු පළාතේ රජයේ රෝහල්වල පහසුකම් නොමැති අවස්ථාවලදී මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කොට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

උතුරු පළාත් සභාවෙන් සහ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන්ද ඉහත කී වැඩපිළිවල සඳහා පූර්ණ සහාය ලැබී ඇති බව පැවැසූ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගි වන මෙන් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට දන්වා ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.

පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට නිදහස ලබා දීමට පෙර විෂ ශරීර ගත කොට ඇති බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්