ඔස්ට්‍රේලියාව මනුස් දුපතේ සරණාගත කඳවුර වසා දැමෙයි

PNG Prime Minister Peter O'Neil Image copyright Getty Images
Image caption පැපුවා නිව්ගිනි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකළේ මනුස් දූපතේ ඇති රැඳවුම් කඳවුර වසා දැමීමට ඔස්ට්‍රේලියාව එකඟ වූ බවයි.

පැපුවා නිව්ගිනි හි මනුස් දූපතේ ඇති සරණාගත රැඳවුම් කඳවුර වසා දැමීමට ඔස්ට්‍රේලියාව එකඟවී තිබේ.

පැපුවා නිව්ගිනි අග්‍රාමාත්‍ය පීටර් ඕනීල් පැවසුවේ බදාදා තමන් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා වන පීටර් ඩටන් හමුවී සාකච්ඡා කළ බවයි.

පැපුවා නිව්ගිනි රාජ්‍යය සහ ඕස්ට්‍රේලියාව යන දෙපාර්ශවයම මනුස් කඳවුර වසා දැමීමට එකඟ වූ බවයි ඔහු නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ.

අධිකරණ තීන්දුවක්

පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අප්‍රේල් මාසයේ දී තීන්දු කළේ සරණාගතයන් සහ අනාථයන් මෙම කඳවුරේ රඳවා තැබීම ව්‍යවස්ථා විරෝධී බවයි.

එසේවුවද පිරිමින් 854 දෙනෙකු රඳවා තබා සිටින මනුස් කඳවුර ඉක්මනින් වසා දැමීමක් සිදු නොවන අතර ඒ සඳහා පෙර මෙහෙයුම් කිහිපයක් සිදු කිරීමට ඇති බවයි අග්‍රාමාත්‍ය ඕනීල් ප්‍රකාශ කළේ.

ඒ සමගම විකල්ප විසඳුම් මාලාවක් පිලිබඳ සලකා බැලෙනු ඇති බවද අදාළ ප්‍රකාශනයේ සඳහන් වන අතර එම මෙහෙයුම හදිසියකින් තොරව පරෙස්සම් සහගත ක්‍රමවේදයකට සිදුවිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පැපුවා නිව්ගිනි ජනතාවගේ මෙන්ම කඳවුරේ රැඳවියන්ගේ ද කැමැත්ත මේ සඳහා වැදගත්වන බවද එහි සඳහන්ව ඇත.

රට තුළ නවාතැන් නැහැ

ඔස්ට්‍රේලියාවට මහුදු යාත්‍රා මගින් පැමිණෙන සරණාගතයන්ට රට තුළ නවාතැන් ලබා නොදී මනුස් දූපතේ සහ පැසිපික් නාවුරු යන උපත්වල ඇති කඳවුරු තුළයි රඳවා තබන්නේ.

අවම වශයෙන් සරණාගත භාවය සඳහා වූ අයදුම් පත් සත්‍ය හා සාධාරණ බවට තීරණය කෙරුණු අවස්ථාවක දී වත් ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය හිමි නොවේ.

ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිලිබඳ අමාත්‍ය ඩටන් විසින් නිකුත්කළ ප්‍රකාශයක සඳහන් ව ඇත්තේ මනුස් කඳවුර වසා දැමීම කලකට පෙර පටන් තීරණය වී තිබුණු බවයි.

" අපි අපේ ස්ථාවරය අද නැවත දැනුම්දෙන්න කැමතියි. මනුස් කඳවුරේ කිසිවෙකුටත් ඕස්ට්‍රේලියාවේ පදිංචිය හිමිවන්නේ නැහැ" යනුවෙනුයි එහි සඳහන් වන්නේ.

අප්‍රියෙල් මාසයේ දී පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකු විසින් තීරණය කර තිබුණේ මනුස් කඳවුර එරට ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියේ සඳහන් 'පෞද්ගලික නිදහස' ආරක්ෂා කිරීමට පටහැනි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්