සරුංගල් නූලට ගෙල කැපී තිදෙනෙක් මරුට

  • 2016 අගෝස්තු 17
Image copyright Getty Images
Image caption සරුංගල් යැවීම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල ජනප්‍රියව පවතී

ඉන්දියානු නිදහස් දිනයේ දී ළමුන් දෙදෙනෙකු සහ වැඩිහිටි පිරිමියෙකු සරුංගලයේ නූලේන් ගෙළ කැපී මිය යාමේ පුවතක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් වාර්තාවේ.

එකිනෙකට වෙනස් අවස්ථා තුනක දී නූලෙන් ගෙල කැපී මෙම තිදෙනා මිය ගියේ අනෙක් සරුංගල් කපා බිම දැමීමේ උවමනාවෙන් සරුංගල් නූලට වීදුරු කුඩු මිශ්‍ර ආලේපයක් ගල්වා තිබීම හේතුවෙන්.

මෝටර් රථයේ(sun-roof)කවුළුව

මෙසේ මියගිය තිදෙනා අතර තෙහැවිරිදි සංචි ගොයාල් නම් දැරියක් සිනමාපටයක් නරඹා තම පවුලේ අය සමග මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී ඇත.

ඇයගේ හිස මෝටර් රථයේ වහළයේ කවුළුවෙන් (sun-roof) පිටත සිරවී තිබියදී සරුංගල් නූලට කැපී ගොස් තිබුණි.

මේ ආකාරයටම දිල්ලියේ වෙනත් ප්‍රදේශයක දී සිව් අවුරුදු වියැති හැරී නමැති පිරිමිදරුවෙකු මිය ගියේ ද මෝටර් රථයේ වහළයේ කවුළුවෙන් (sun-roof) හිස දමාගෙන යද්දී සරුංගල් නූලට ගෙල කැපී යාමෙනි.

මේ අතර සඳුදා පොලිස් නිලධාරියෙකුද සරුංගල් නූලකින් තුවාල ලැබුවේය.

සෑම වසරකම සරුංගල් නූලට තුවාල වී මියයාම් වාර්තා වන අතර මෙම නූල් හඳුන්වනු ලබන්නේ මන්ජා යනුවෙනි.

2015 වසරේ උතුරු ඉන්දියාවේ මොරදාබාද් හි පස් වියැති පිරිමි ළමයෙකුද 2014 වසරේ දී ජායිපුර් හිදී පස් වියැති ගැහැණු දරුවෙකු ද සරුංගල් නූලට තුවාල වී මියගියහ.

මියයන කුරුල්ලන්

මෙම වීදුරු කුඩු ආලේපිත සරුංගල් නූල් හේතුවෙන් කුරුල්ලන් සිය ගණනක් මියගොස් ඇති අතර දිල්ලියේ කුරුල්ලන් සඳහා වූ පුන්‍යායතන රෝහලකට පසුගිය දින දෙක තුළ පමණක් කුරුල්ලන් 500 ක් පමණ ඇතුළත් කර ඇත.

සෑම වසරකම කුරුල්ලන් 8000කට පමණ ප්‍රතිකාර කිරීමට සිදුවී ඇති බවයි එම රෝහල පවසන්නේ.

දැන් මෙසේ විවිධ ක්‍රමවලින් තියුණුභාවයට පත්කළ නූල් සරුංගල් යැවීම සඳහා යොදා ගැනීම දිල්ලි බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.