'මචිලි' ව්‍යාඝ්‍ර ධේනුව වෙනුවෙන් ඉන්දියාව ශෝක වෙයි

Image copyright Sandhip Sharma
Image caption ව්‍යාඝ්‍ර ධේනුවට 'මචිලි' යනුවෙන් නම් තබා ඇත්තේ ඇගේ සමේ මත්සයෙකුගේ හැඩයෙන් යුතු විශේෂ වයිරන් පැවතීම හේතුවෙනි.

ඉන්දියාවේ ඉතාමත්ම මහලු සහ ජනප්‍රියත්වයට පත් වූ ව්‍යාඝ්‍ර ධේනුව 'මචිලි' රාජස්තාන් ප්‍රාන්තයේ 'රාන්තන්බෝ' ජාතික වන උද්‍යානයේ දී මිය ගොස් තිබේ.

'මචිලි' මිය ගොස් තිබෙන්නේ වයෝවෘද්ධභාවය සහ ස්වභාවික හේතු මත බවයි පැවසෙන්නේ.

ව්‍යාඝ්‍ර ධේනුවට 'මචිලි' යනුවෙන් නම් තබා ඇත්තේ ඇගේ සමේ මත්සයෙකුගේ හැඩයෙන් යුතු විශේෂ වයිරන් පැවතීම හේතුවෙනි.

'මචිලි' යනු හින්දි බසින් මාළුවා යන්නයි.

ඉන්දියාවේ 'ව්‍යාඝ්‍ර රැජින'

Image copyright Twitter
Image caption ඉන්දියාවේ 'ව්‍යාඝ්‍ර රැජින'

ශරීරය පුරා පැවති සිනිදු දිදුලන වයිරන් හේතුවෙන් ඡායාරූප ශිල්පීන්ගේ දැඩි අවධානය ඇය වෙත යොමු වුවත් ඉතා රෞද්‍ර පැවතුම් ඇත්තියක ලෙසයි 'මචිලි' ප්‍රචලිතව සිටියේ.

ඉන්දියාව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ මචිලිගේ වීඩියෝ පටය ලෙස මීටර හතරක දිගින් යුතු විශාල කිඹුලෙකු සමග ව්‍යාඝ්‍ර ධේනුව පොරබදින අයුරු සමාජ මාධ්‍ය ජාල පුරා සංසරණය විය.

'මචිලි' පසුගිය කාලය පුරා ව්‍යාඝ්‍රයන්ගේ තොරතුරු පළ කළ ග්‍රන්ථ සහ වන සතුන්ගේ ප්‍රකට වාර්තාමය චිත්‍රපටි වෙනුවෙන් නිතරම රූපගත කෙරුණු අතර ඉන්දියාවේ මුද්දරයක් සැරසීමටත් ඇගේ සේයාරුවක් තෝරා ගැනිණි.

'මචිලි'ගේ සුන්දරත්වය සහ ප්‍රසිද්ධිය රාජස්තාන් ප්‍රාන්තයේ රාන්තන්බෝ ජාතික වන උද්‍යානයට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයා දීමට සමත් විය.