මත්පැන් විෂ වී දහ අට දෙනෙකු මරුට

නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසිපස් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

වැඩ තහනම් කරනු ලැබූ නිලධාරීන් අතර ගොපාල්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියාද සිටින බවයි වාර්තා වන්නේ.

බලධාරීන් විසින් මෙම පියවර ගනු ලැබුවේ නීති විරෝධී මත් පැන් පානය කොට විෂ වීමෙන් ගොපාල්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දහ අට දෙනෙකු මිය ගොස් ඇති බවට එල්ල වූ චෝදනා සම්බධයෙන් කළ පරීක්ෂණයකින් පසුවයි.

එම දිස්ත්‍රික්කයේ පිටිසර ගමක පවත්වා ගෙන ගිය නීති විරෝධී ලෙස මත්පැන් පෙරන ස්ථානයකින් මෙම විෂ සහිත පානය බෙදා හැර ඇති බවයි පොලිසිය පවසන්නේ.

නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දාහතර දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බිහාර් පොලිසිය සමත් වී තිබේ.

තවමත් සැක කරුවන් සොයමින් මෙහෙයුම් දියත් කරන පොලිසිය කියා සිටියේ මෙම පුද්ගලයන්ගේ මරණ වලට හෙතුව අදාළ මත් පැන් විෂ වීම බව නිශ්චිතවම අනාවරණය කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙන බවයි.