ටෙලි නළුවක් නිසා බංග්ලාදේශයේ 15 ක් රෝහලේ
ජනප්‍රිය රුපවාහිණී නාට්‍යයක් පිලිබඳ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශයේ ගම්මානයක සිය ගණනක් මිනිසුන් ආරවුලක පැටලී පුද්ගලයන් පහළොස් දෙනෙකු දරුණු තුවාල ලැබීය.
හබිගාන්ජ් දිස්ත්‍රික්කයේ ගම්වැසියන් ආපන ශාලාවකට එකතුවී ඇත්තේ ඉන්දියානු නිෂ්පාදනයක් වන 'කිරන්මාලා ' නම් බෙංගාලි පවුලේ නාට්‍යයක් නැරඹීම සඳහායි.
එහෙත් පුද්ගලයන් දෙදෙනෙකු අතර නාට්‍යයේ අන්තර්ගතය පිළිබඳව විරෝධතාවක් හටගැනීමත් සමග සිය ගණනක් පිරිස් එයට සම්බන්ධවී පොලු මුගුරු සහ කැපෙන ආයුධ යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරුණි.
පසුව කඳුළු වායුව සහ රබර් උණ්ඩ යොදාගෙන කලහකාරී පිරිස් පළවා හරින්නට පොලීසියට සිදුවිය.
බංග්ලාදේශය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති කිරන්මාලා නාට්‍යයෙන් කියවෙන්නේ නිර්භීත කුමරියක් අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන් බේරාගන්නා ආකාරයයි.
මෙම ගැටුම හටගත්තේ ඊසානදිග බංගලාදේශයේ ධෝල් ගම්මානයේ ආපන ශාලාවකයි.
"මුලින්ම දෙන්නෙක් රණ්ඩුවෙලා තියනව කතාවේ තේමාව ගැන. ඊට පස්සෙ ඒක කණ්ඩායම් අතර ආරවුලක් බවට පත්වෙලා. අන්තිමට සිය ගණනක් පිරිස් එකිනෙකාට පිහි වලින් සහ පොලු මුගුරු වලින් පහර දීල" යනුවෙනුයි ප්‍රදේශයේ පොලිස් ප්‍රධානී යසිනුල් හක් බීබීසීයට පැවසුවේ.
පුද්ගලයන් 15 දෙනෙකු දරුණු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර තවත් සිය ගණනක් පිරිසක් මෙම ගැටුමේ දී පහර කා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරී හක් ප්‍රකාශ කළේ බදාදා රාත්‍රියේ ඇතිවූ ගැටුම බ්‍රහස්පතින්දා උදෑසන දක්වා පැවති බවයි.
ඉන්දියාවේ නිෂ්පාදනයක් වුවද කිරන්මාලා බංග්ලාදේශයේ වඩාත් ජනප්‍රිය රුපවාහිනී මාලා නාටකය වී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
පසුගිය වසරේ බංග්ලාදේශ තරුණියන් දෙදෙනෙක් සිය දිවි නසා ගත්තේ මෙම නාට්‍යයේ කුමරියගේ ඇඳුමට සමාන ඇඳුමක් මිලදී ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.