මිය ගිය බිරිය කරින් ගෙන කිලෝ මීටර් දොළහක්

  • 2016 අගෝස්තු 25
Image caption ක්ෂයරෝගයෙන් පෙළුණු අමාන්ග් මාජි අඟහරුවාදා රාත්‍රියේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

ක්ෂය රෝගයෙන් මිය ගිය බිරිඳගේ සිරුර ප්‍රවාහනය කිරීමට ගිලන් රථයක් දීම රෝහල ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉතා දිළිඳු මිනිසෙකු සිය බිරිඳගේ මළ සිරුර කිලෝ මීටර් දොළහක දුරක් කරමතින් ගෙන ගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි හතළිස් දෙහැවිරිදි අමාන්ග් මාජි ඔරිස්සා ප්‍රාන්තයේ භාවනීපත්න නගරයේ පිහිටි රෝහලේදී මිය ගියාය.

රෝහල වෙත පැමිණි ඇගේ සැමියා කාර්යමණ්ඩලයට දන්වා ඇත්තේ සිය නිවෙස පිහිටා ඇති ගම රෝහලේ සිට කිලෝමීටර හැටක් පමණ ඈතින් පිහිටා ඇති අතර බිරියගේ සිරුර ප්‍රවාහනය කිරීමට වාහනයක් කුලියට ගැනීමට තමන්ට වත්කමක් නැති බවයි.

ඔහුගේ ආයාචනය ඉවත දැමූ රෝහල් කාර්යමණ්ඩලය අමාන්ග් මාජිගේ සිරුර ඇගේ නිවෙස වෙත ගෙන යාමට ගිලන් රථයක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

'දිළිඳු නිසා'

කෙසේ වෙතත් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී බී බ්‍රාහ්මා කියා සිටියේ මෙම කාන්තාව පසුගිය අඟහරුවාදා රෝහලට ඇතුළත් කෙරුණු අතර එදිනම රාත්‍රියේ මිය ගිය බවයි.

ඔහු චෝදනා කරන්නේ මිය ගිය කාන්තාවගේ සැමියා රෝහල් කාර්ය මණ්ඩලයට කිසිදු දැනුම් දීමක් සිදු නොකොට සිය බිරියගේ මෘතදේහය රැගෙන ගොස් ඇති බවටයි.

මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අමාන්ග් මාජිගේ සැමියා පැවසුවේ තමන්ට පෞද්ගලික වාහනයක් කුලියට ගැනීමට වත්කමක් නැති බැවින් දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයෙන් ගිලන් රථයක් ඉල්ලා සිටියද ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බැවින් බිරියගේ මළ සිරුර කර මතින් හෝ ගමට ගෙන යනවා වෙනුවට තමාට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි.

Image caption සිය මවගේ මළ සිරුර කර මතින් ගෙන යන පියා අසලින් ගමන් ගත් දියණිය චවුලා

ඊයේ උදෑසන ඉවත දැමූ රෙදි කඩකින් එතූ මළ සිරුර කර ගසාගත් අමාන්ග් මාජිගේ සැමියා සිය දියණියද සමග රෝහලෙන් පිටත් වී තම ගම වෙත වූ දීර්ඝ ගමන අරඹා තිබේ.

මිනියක් කර ගසා ගෙන මහ මග යන ඔහු දුටු මගීන් පිරිසක් මැදිහත් වී රෝහලකින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට සමත් වූ අතර ඒ වන විට අමාන්ග් මාජිගේ සැමියා කිලෝ මීටර් දොළහක දුරක් පසුකර තිබුණි.

පසුව 'හරිස්චන්ද්‍ර යෝජනා' නම් ඉන්දීය දිළිඳු පවුල් වල ආදාහන කටයුතු සඳහා උපකාර කිරීමට පිහිටුවා ඇති රජයේ සහනාධාර ව්‍යාපෘතිය හරහා අමාන්ග් මාජිගේ පවුලට ඉන්දීය රුපියල් දෙදහසක් ලබා දීමටත් රතු කුරුස සංවිධානයෙන් ඉන්දීය රුපියල් දස දහසක් ලබා දීමටත් ඔරිස්සා ප්‍රාන්තයේ කලහාන්දි ප්‍රදේශයේ නිලධාරියෙකු ක්‍රියා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ ඔරිස්සා ප්‍රාන්ත ආණ්ඩුව විසින් දිළිඳු පවුල් වල සිදු වන මරණ වලදී මෘත දේහය ඔවුන්ගේ ගම වෙත ගෙන යාමට රෝහල් ගිලන් රථ සේවා ලබා දීම සඳහා නව වැඩසටහනක් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

කෙසේ වෙතත් මේ වන විටත් ඔරිස්සා ප්‍රාන්තයේ දිළිඳු ජනතාව බොහෝ අවස්ථා වල සිය මිය ගිය ඥාතීන්ගේ මෘත දේහ සිය ගම් බිම් බලා ගෙන යන්නේ බයිසිකලයක, කරත්තයක හෝ මිනිසුන් විසින් ඇදගෙන යන රික්ෂෝ රථයක ආධාරයෙනි.