අයර්ලන්තයට යුරෝ බිලියන 13 ක් ගෙවන්න - ඇපල් සමාගමට නියෝග

Apple logo light Image copyright Getty Images
Image caption තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇපල් සමාගම මෙන්ම අයර්ලන්තයද පවසයි

ව්‍යාපාරික බදු මුදල් වශයෙන් අයර්ලන්තය ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බව යුරෝපා කොමිසම තීන්දු කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කරගත් ඇපල් සමාගමට අයර්ලන්තය විසින් ලබා දී ඇති බදු සහන නීති විරෝධී බවයි තෙවසරක් මුලුල්ලේ පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව යුරෝපා කොමිසම තීන්දු කළේ.

අනෙක් බොහෝ ව්‍යාපාරවලට වඩා අඩුවෙන් බදු ගෙවීමට අයර්ලන්තය ඇපල් සමාගමට අවසර දීම හේතුවෙන් ඇපල් සමාගම අයර්ලන්තයේදී ගෙවා තිබෙන්නේ සියයට එකක බදු ප්‍රතිශතයක් බවත් තීන්දුවේ සඳහන්.

යුරෝපා කොමිසමේ තීන්දුව සමඟ එකඟ නොවන බව ඇපල් සමාගම මෙන්ම අයර්ලන්තයද නිවේදනය කර තිබේ. එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ඔවුන් පවසන්නේ.

'රැකියා අනතුරේ'

"තෝරාගත් සමාගම්වලට පමණක් බදු සහන ලබාදීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාවක් නැත. යුරෝපා සංගමයේ නීති විධිවිධාන ප්‍රකාර එය නීතිවිරෝධීයි," යුරෝපා කොමසාරිස් මාග්‍රෙත වෙස්තයර් සඳහන් කළාය.

අයර්ලන්තයේ සම්මත ව්‍යාපාරික බදු ප්‍රතිශතය 12.5% කි.

එහෙත් යුරෝපා සංගමය තුල සිදුකරන ලද ව්‍යාපාරික කටයුතුවල ලාභය වෙනුවෙන් 2003 වසර තුල ගෙවා තිබෙන්නේ 1% ක් වන අතර, 2014 දී ගෙවා තිබෙන්නේ 0.005% ප්‍රතිශතයක් බවයි යුරෝපා කොමිසමේ පරීක්ෂණයෙන් හෙළිදරවු වී තිබෙන්නේ.

අයර්ලන්තය සහ ඇපල් සමාගම අතර ඇතිකරගන්නා ලද ගිවිසුම යථාර්ථයට එරෙහිව යන්නක් බවත් කොමසාරිස්වරිය පවසයි.

එහෙත් කොමිසමේ තීන්දුව රැකියා අනතුරේ හෙලන්නක් බවයි ඇපල් සමාගම පවසන්නේ.

යුරෝපය තුල සිය සමාගමේ 'ඉතිහාසය අලුතින් ලිවීමේ' උත්සාහයක් දියත්කිරීමක් ලෙසිනුයි ඇපල් සමාගමේ යුරෝපා කොමිසමේ තීන්දුව හඳුන්වා දෙන්නේ.

සිය සමාගම ක්‍රියාත්මක වන ඕනෑම රටක නීතිය පිළිපදින බවත්, අදාළ සියලු බදු මුදල් ගෙවන බවත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.

යුරෝපා කොමිසමේ තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරන අයර්ලන්තයද ඒ හා සමාන මතයක් පළ කර තිබේ.

බීබීසී යෙන්