අසභ්‍ය සංයුක්ත තැටියක් නිසා ඇමතිවරයෙක් නෙරපයි

Image caption ඉන්දියාවේ කාන්තා සහ ළමා සංවර්ධන කටයුතු භාර අමාත්‍ය සන්දීප් කුමාර්

අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටියක් හසු වීමෙන් පසු දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

දිල්ලි ප්‍රාන්ත ආණ්ඩු බලය මෙහෙයවන දූෂණ වංචා විරෝධී 'ආම් ආද්මි' දේශපාලන පක්ෂයෙන් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණි සන්දීප් කුමාර් කාන්තා සහ ළමා සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා විය.

දිල්ලි ප්‍රාන්ත ආණ්ඩු මහඇමති අර්වින්ද් කෙජ්රිවාල් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය සන්දීප් කුමාර්ගේ අනුමත කළ නොහැකි දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් තමාට ලැබීමෙන් පසු ඔහු ධුරයෙන් පහ කිරීමට තීරණය කළ බවයි.

පසුගිය වසරේ දිල්ලි මහ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලද 'ආම් ආද්මි' පක්ෂය ප්‍රාන්ත ආණ්ඩුවේ බලය ලබා ගැනීමට සමත් විය.

අදාළ සංයුක්ත තැටිය ලැබී මිනිත්තු තිහක කාලයක් තුළ ඊට එරෙහිව පියවර ගැනීමට සිය පක්ෂය ක්‍රියා කළ බවයි දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ නියෝජ්‍ය මහ ඇමතිවරයා කියා සිටියේ.

ආණ්ඩු බලධාරීන් වෙත මෙම සංයුක්ත තැටිය කවුරු විසින් එවනු ලැබුවේ දැයි තවමත් හෙළි වී නැතත් අමාත්‍ය සන්දීප් කුමාර් ධුරයෙන් ඉවත් කිරීමේ පුවත දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවේ මහඇමති අර්වින්ද් කෙජ්රිවාල් විසින් සිය ට්විටර් වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබුණි.