දකුණු සූඩානයේ යුද්ධයෙන් ලාභ ලබන ජනතා නායකයෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලඥයන්ගේ සාක්කු පුරවන යුද්ධයක්

දකුණු සුඩානයේ සන්නද්ධ ගැටුමේ ප්‍රධාන නායකයන් දෙදෙනාම එරට ඇතිවී ඇති සිවිල් යුද්ධයෙන් විශාල වශයෙන් ධනය උපයමින් සිටින බවට වාර්තාවක් නිකුත් වී තිබේ.

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු, මානව හිමිකම් ක්‍රියාධාරී ජෝර්ජ් ක්ලුනි විසින් පත් කරන ලද කමිටුවක් දකුණු සුඩානයේ වසර දෙකක් මුළුල්ලේ සිදු කරන ලද පරීක්ෂණ සහ විමර්ශන තුළිනුයි මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

'ද සෙන්ට්‍රි' නමින් ප්‍රකාශයට පත් කොට ඇති වාර්තාවේ අඩංගු තොරතුරු සහ සාක්ෂි වලට අනුව දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් සහ ඔහුගේ විරුද්ධවාදියා රීක් මාචාර් එරට සිවිල් යුද්ධයෙන් විශාල ධනස්කන්ධයක් උපයමින් සිටියි.

මානව හිමිකම් ක්‍රියාධාරී ජෝර්ජ් ක්ලුනිගේ මෙහෙයවීමෙන් මෙම යුධ අපරාධ විමර්ශන කමිටුව වසර දෙකක් මුළුල්ලේ දකුණු සුඩානයේ යුධ වියදම් හා ජනාධිපතිවරයාගේ වත්කම් සහ බැරකම් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි මෙම තොරතුරු හෙළිදරව් කර ගෙන තිබෙන්නේ.

යුධ වියදම් සහ දකුණු සුඩාන ප්‍රභූ පන්තියේ ආදායම් වලට අනුව ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන්ට විදේශයන්හි සුඛෝපභෝගී නිවෙස්, පතල් සහ බොරතෙල් පිරිපහදු සමාගම් වල පවා අයිතිය හිමි බව අනාවරණය වූ බවයි 'ද සෙන්ට්‍රි' වාර්තාවේ කතෘවරයෙකු වන ජේ ආර් මයිලි පවසන්නේ.

'දකුණු සුඩානයේ සිවිල් යුද්ධය හුදෙක් දූෂිත පාලන තන්ත්‍රයකින් බෙදුණු කොටස් දෙකක් රටේ පාලන බලය අල්ලා ගැනීම පිණිස සිදු කරන සටනකි.' ජේ ආර් මයිලි යුද්ධයට හේතු පැහැදිලි කළේය.

විසි වසක යුද්ධයෙන් පසු තවත් යුද්ධයක්

2013 වසරේ දෙසැම්බර් මාසයේ ජනාධිපති සල්වා කීර් සිය අගමැති මාචර් කුමන්ත්‍රණයකින් බලයට පැමිණීමේ සැලසුමක සිටින බවට චෝදනා කළ අතර ජනාධිපති කීර් සහ මාචර් විරසක විය.

අවුරුදු විස්සකට අධික කාලයක් ගරිල්ලා සටන් වලින් පීඩා විඳිමින් සිට 2011 වසරේ නිදහස ලැබූ දකුණු සුඩානයේ මේ විරසක නායකයන් දෙදෙනාට හිතවාදී පාර්ශව අතර ඇවිලී ගිය ගැටුම් ක්ෂණයකින් සන්නද්ධ අරගලයක් බවට පත් වුනේ මිලියන දෙකක ජනතාවට උන් හිටි තැන් අහිමි කරමින් සහ මිලියන දොළහක ජනතාව නැවතත් යුධ භියෙන් මුසපත් කරමිනි.

දකුණු සුඩානයේ පාලක පක්ෂයේ නායකයන්ගේ ඥාතීන් විශේෂ සැලකුම් ලබන අතර ඔවුන් යටතේ අවි සහ බොර තෙල් ගනුදෙනු සිදු වන බවට වාර්තාව කරුණු හෙළි කරයි.

ජනාධිපති කීර්, ඔහුගේ දරුවන් හත් දෙනා සහ බිරිඳට බොරතෙල්, පතල් කර්මාන්ත සහ මූල්‍ය සමාගම් වල පූර්ණ අයිතිය ඇති බවත් එහි සඳහන්.

ජනාධිපති කීර්ගේ පුතුන් සිය හැඳුනුම්පතේ රැකියාව යටතේ සටහන් කර ඇත්තේ තමන් ජනාධිපතිගේ පුතුන් යන්නයි.

කමිටුව දියත් කළ එක විමර්ශනයක ප්‍රථිපල වලට අනුව පෙනෙන්නේ ජනාධිපතිගේ දොළොස් හැවිරිදි පුතාට පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කළ නව සමාගමක 25%ක කොටස් වල හිමිකාරත්වය ඇති බවයි.

'යුද වැදෙන නායකයින්ගේ අසල්වැසි නිවාඩු නිකේතන'

ඊට අමතරව ජනාධිපති කීර්ගේ මස්සිනාට රජයේ ආරක්ෂක අංශයේ ඉතා උසස් නිලයක් හෙබවීමට අවස්ථාව ලබා දී ඇති අතර හමුදාවට ඉන්ධන සපයන සමාගමක හිමිකාරත්වය ලබා දී ඇති බවත් වාර්තාවේ සඳහන්.

වාර්තාවේ සඳහන් තවත් පුදුමය දනවන කරුණක් වන්නේ ජනාධිපති කීර් සහ ඔහුගේ ප්‍රත්වාදියා රීක් මාචර් සිය සුඛෝපභෝගී නිවාඩු නිකේතන කෙන්යාවේ නයිරෝබි අගනුවර එකිනෙකට ආසන්නයේ පිහිටන පරිදි මිලට ගෙන තිබීමයි.

ඊට අමතරව මෙම නායකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ ළගම හමුදා නිලයන්ට ඉතියෝපියාවේ, උගන්ඩාවේ සහ ඔස්ට්‍රේලියාවේද නව නිවාස වල අයිතිය හිමි වේ.

ජනාධිපති කීර් සහ මාචර් යන දෙදෙනාම එකම ස්වභාවයේ මුල්‍ය ගනුදෙනු සිදු කරන බවටත් තොරතුරු හෙළි වී තිබේ.

ජනාධිපති කීර් වගේම මාචර් සිය අවි ආයුධ සහ ප්‍රහාරක උපකරණ මිලදී ගන්නේ රටේ බොර තෙල් නිෂ්පාදනය විදේශයන්ට විකිණීමෙන්, ඔහු තමන්ගේ සන්නද්ධ කණ්ඩායම් වලට අවශ්‍ය මුදල් උපයා ගන්නෙත් දකුණු සුඩානයේ බොර තෙල් විකිණීමෙන්.

'ද සෙන්ට්‍රි' වාර්තාව ඉදිරිපත් කරන යුධ අපරාධ විමර්ශන කමිටුව සිය විමර්ශන වලට අදාළ වගකිව යුතු නායකයන් සහ හමුදා ප්‍රධානින්ගෙන් කරුණු විමසා තිබුනත් ඒ සියලුම පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ එකහෙලා ප්‍රතික්ෂේප කළ බවයි වාර්තාවේ කතෘ වරයෙකු වන ජේ ආර් මයිලි කියා සිටියේ.