මාලදිවයින් ජනපතිට එරෙහිව සන්ධානයක්

Image caption හිටපු ජනපති මොහමඩ් නෂීඩ්

නීතිමය ක්‍රියාදාමයක් ඔස්සේ මාලදිවයිනේ ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීම සඳහා ගිවිසුමකට එළැඹි බව මාලදිවයිනේ හිටපු ජනපති මොහමඩ් නෂීඩ් පවසයි.

හිටපු ජනපති මොහමඩ් නෂීඩ්ට පෙර තිස් වසරක් මාලදිවයින පාලනය කළ මවුමුන් අබ්දුල් ගයුම් සමඟ මෙම ගිවිසුමට පැමිණි බවයි ඔහු පවසන්නේ.

මවුමුන් අබ්දුල් ගයුම් බලයේ සිටිය දී හිටපු ජනපති මොහමඩ් නෂීඩ් කිහිප වතාවක් ම සිරභාරයට පත් විය.

නමුත් අතීතය අමතක කර ඉදිරියට යා යුතු බවයි හිටපු ජනපති මොහමඩ් නෂීඩ් කියා සිටියේ.

'ආපසු අතීතයට ගොස් ජීවත් වෙන්න ගත්තොත් කොහොමද අනාගතයක් ගොඩනගන්නේ.?' කොළඹ සිටින වාර්තාකරුවන් අමතා හිටපු ජනපති මොහමඩ් නෂීඩ් ප්‍රශ්න කළේය.

'වසර තිහක් තිස්සේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය අබ්දුල් ගයුම් සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපාලනයක් ස්ථාපිත කළ යුතු බව අවබෝධ කර ගෙන ඇතැ'යි හිටපු ජනපති මොහමඩ් නෂීඩ් පවසයි.

වත්මන් ජනපති අබ්දුල් යමීන් හිටපු ජනපති අබ්දුල් ගයුම් ගේ ඥාති සොහොයුරෙකි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් අනතුරුව මාලදිවයිනේ මාධ්‍ය දැඩි පාලනයක් යටතේ පවතින අතර ප්‍රධාන දේශපාලන චරිත කිහිපයක්ම සිර ගත කර ඇත.