'දුකින් තැවෙන' හිම වලසාට නව නිවසක්

Pizza the polar bear Image copyright Animals Asia
Image caption පීට්සා, 'ලොව හුදකලාම හිම වලසා'

චීනයේ ගෘහස්ථ ප්‍රදර්ශනාගාරයක සිර කරනු ලැබ සිටින 'පීට්සා' නමැති හුදකලා හිම වලසාට නව නිවහනක් ලබා දීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ සෆාරි උද්‍යානයක් පවසයි.

යෝක්ෂයර් සෆාරි උද්‍යානයේ සේවකයෙක් බීබීසීයට කියා සිටියේ ඉහත කී හිම වලසාට නව නිවහනක් ලබා දීමට සුදානම් බව චීනයේ පිහිටි 'ග්‍රෑන්ඩ් වීව්' නමැති ගෘහස්ථ සත්වෝද්‍යානයට දන්වා ඇති බවයි.

'ග්‍රෑන්ඩ් වීව්' සත්වෝද්‍යාන බලධාරීන්ගෙන් එයට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ඉහත කී චීන සත්වෝද්‍යානය වසා දමන ලෙස ඉල්ලමින් දියත් කෙරුණු අන්තර්ජාල පෙත්සමකට විශාල පිරිසක් අත්සන් තැබූ අතර පසුගිය ජුලි මාසයේදී 'පීට්සා' නමැති හුදකලා හිම වලසා ජාත්‍යන්තර පුවත් සිරස්තල මවන්නකු බවට පත් විය.

Image copyright Yorkshire Wildlife Park
Image caption 'ග්‍රෑන්ඩ් වීව්' සත්වෝද්‍යාන බලධාරීන් එකඟත්වය පළ කළහොත් 'පීට්සා' යෝක්ෂයර් සෆාරි උද්‍යානයේ වෙසෙන හිම වලසුන් හා එක් වනු ඇත

හිම වලසා වීදුරු කුටියක් තුළ 'කඳුළු පිරි දෙනෙතින්' වැතිර සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කරනු ලැබ තිබිණ.

කෙසේ වෙතත් තල්මසුන්, දළ තල්මසුන්, වෘකයෙක් සහ ආක්ටික් කලාපයට ආවේණික නරින්ට නිවහන වූ 'ග්‍රෑන්ඩ් වීව්' සත්වෝද්‍යානයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කටයුතු කොට ඇති බව එහි හිමිකරු අවධාරණය කරයි.

සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින 'ඇනිමල්ස් ඒෂියා' පුණ්‍යායතනය පවසන්නේ ස්වාභාවික තත්වයන්ගෙන් තොර සත්වෝද්‍යානය තුළ සතුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්