සිරියාවේ සෞඛ්‍ය සායනයකට ගුවන් ප්‍රහාරයක්

  • 2016 සැප්තැම්බර් 21
Image copyright EPA
Image caption සහනසේවා රැගත් රථ පෙළකට සඳුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයට රුසියාව වගකිවයුතු බවයි ඇමරිකාව පවසන්නේ

රාත්‍රී කාලයේ දී සිරියාවේ සෞඛ්‍ය සායනයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් තම සෞඛ්‍ය සේවකයන් හතරදෙනෙකු මියගොස් හෙදියකට තුවාල සිදුවූ බව ප්‍රංශ සෞඛ්‍යාධාර ආයතනයක් පවසයි.

සිරියාවේ අලෙප්පෝ නගරයට නුදුරින් කැරලිකරුවන් ගේ පාලනයේ පවතින නගරයක සිදුකළ සෝදිසි මෙහෙයුම් වල දී අවම වශයෙන් සන්නද්ධකරුවන් නම දෙනෙකුවත් මියගිය බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක්වූ ගිලන් රථ දෙකක සිටි සේවකයන් හතරදෙනෙකුයි මෙසේ මියගොස් ඇත්තේ.

සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට සමතලා වී ඇති හෙයින් තවත් තුවාලකරුවන් හෝ මියගියවුන් සිටිය හැකි බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

මේ අතර විසි දෙනෙකු මරුමුවට පත්කරමින් සහනසේවා රැගත් රථ පෙළකට සඳුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයට රුසියාව වගකිවයුතු බවයි ඇමරිකාව පවසන්නේ.

ඇමරිකානු නිලධාරීන් බීබීසීයට පැවසුවේ සහන සේවා රථ පෙළ ගමන් ගනිද්දී ඊට ඉහලින් අහසේ රුසියානු ජෙට් යානා පියාසර කරමින් තිබූ බවයි.

එසේම මෙම ප්‍රහාරය සිරියානු හමුදාවන්ට කළ නොහැකි අන්දමින් සූක්ෂම ආකාරයෙන් සිදුවූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම මත ගැටුම සිරියාවේ සටන් විරාම ගිවිසුම ආරක්ෂාකිරීම තව තවත් සංඛීර්ණත්වයට පත්කරන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර