යාහූ කෝටි පනහක ග්‍රාහකයන්ගේ දත්ත සොරකම් කරලා

  • 2016 සැප්තැම්බර් 23
Yahoo office Image copyright Flickr

සිය සේවා භාවිත කරන්නන් කෝටි පනහකට අධික පිරිසක ගිණුම් වලින් දත්ත සොරකම් කර ඇති බව යාහූ අන්තර්ජාල සමාගම පවසයි.

රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ හැකරුන් කණ්ඩායමක් මෙම සොරකමට සම්බන්ධ බව පවසන යාහූ සමාගම, එය පරිගණක ඉතිහාසයේ විශාලම දත්ත සොරකම ලෙස හැඳින්විය හැකි බවත් සඳහන් කරයි.

යාහූ අන්තර්ජාල සේවා භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු, රහස්‍ය පිවිසීමේ දත්ත, විද්‍යුත් පණිවුඩ ලිපින සහ සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සපයන පෞද්ගලික තොරතුරුත් සොරා ගත් දත්ත සමූහයට අඩංගු වන බවයි වාර්තා වෙන්නේ.

විශාලතම දත්ත සොරකම

මෙම අති විශාල දත්ත සොරකම 2014 වසරේ සිදු වී ඇතත් යාහූ සමාගම ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ අදයි.

සිය දත්ත ගබඩා වලට හැකරුන් ඇතුළු වී ඇති බව ප්‍රකාශ කිරීමට මෙතරම් ප්‍රමාද වීමේ හේතු පැහැදිලි කරන යාහූ සමාගමේ දත්ත පිවිසුම් ආරක්ෂක වැඩසටහන් නිර්මාණකරුවකු වන බ්‍රයන් හොනාන් පවසන්නේ, බොහෝ විට සමාගම පවා ඒ පිළිබඳව දැනුවත් වන්නේ බොහෝ ප්‍රමාද වී බවයි.

"ගොඩක් සමාගම් ඒ ගැන දන්නේ නැහැ රජය දැනුම් දෙන කල්, නැත්නම් රහස්‍ය තොරතුරු විශාල වශයෙන් පිට වෙනකල්," බ්‍රයන් හොනාන් පැවසීය.

"ඇතැම් විට මේ හැකරුන් ඒ දත්ත විකුණනවා. අනික සමාගම ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ වගේ අවස්ථාවකත් සමාගම ඒ ගැන හෙළිකරන්නේ නැහැ."

හැකරුන් කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව යාහූ සමාගම පවසන නමුත් ඒ කුමන රටකින්දැයි තවමත් හෙළිදරව් වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්