ලොව 'ළාබාලම' ගුවන් නියමුවරිය

ලොව 'ළාබාලතම' ගුවන් නියමුවරිය

කේට් මැක්විලියම්ස්ගේ වයස අවුරුදු විසි හයක්.

ලොව මගී ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙතෙක් බිහි වූ ළාබාලතම ගුවන් කපිතාන්වරිය කේට් මැක්විලියම්ස් බව ඇය සේවයේ නියුතු 'ඊසි ජෙට්' ගුවන් සමාගමේ විශ්වාසයයි.

ලොව පුරා ගමනාන්ත සිය ගණනක් වෙත පියාසර කරන ඇය පවසන්නේ තම වයස සඳහන් කරන සෑම අවස්ථාවකදීම බොහෝ දෙනා පුදුමයට පත් වන බවයි.

ඉතා අඩු වයසකින් තමා ළඟා කර ගෙන ඇති ජයග්‍රහණය දෙස බලා බොහෝ දෙනකු ප්‍රසාදයට පත් වන බවත් ඇය කියා සිටින්නීය.

ආධුනිකයකු ලෙස පියාසර කිරීම ආරම්භ කරන විට කේට්ගේ වයස අවුරුදු දහතුනකි.

අනාගතයේදී ගුවන් යානා කපිතාන්වරියක් විය හැකි වනු ඇතැයි තමා විශ්වාස නොකළ බව ඇය පීඒ පුවත් සේවයට පවසා තිබේ.

2011 වසරේදී දෙවන නියමුවරියක් වශයෙන් 'ඊසි ජෙට්' ගුවන් සේවයට එක් වූ ඇය සාර්ථක ලෙස ගුවන් නියමු පාඨමාලාවක් නිම කිරීමෙන් පසු කපිතාන් නිලයට උසස් කෙරිණ.

Image copyright PA
Image caption ලොව 'ළාබාලතම' ගුවන් නියමුවරිය

අයිස්ලන්තය, ඊශ්‍රායලය සහ මොරොක්කෝව ඇතුළු ලොව පුරා පිහිටි ගමනාන්ත වෙත ඇය A319 සහ A320 වර්ගයේ මගී ගුවන් යානා මෙහෙයවන්නීය.

මගී ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ගුවන් නියමුවන් ලෙස සේවය කරනු ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට පහක් පමණ වේ.

සිය සමාගම තුළ කාන්තා ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමේ සැලැස්මක් ඇති බව 'ඊසි ජෙට්' ගුවන් සමාගම පසුගිය වසරේදී නිවේදනය කළේය.

කේට් මැක්විලියම්ස් ආදර්ශයට ගෙන තරුණියන් ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත යොමු වීමට දිරිමත් වනු ඇති බවට බ්‍රිතාන්‍ය කාන්තා ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපතිනි ජූලි වෙස්තොප් විශ්වාසය පළ කරන්නීය.

''ගැහැණු ළමුන් කැපී පෙනෙන චරිත ලෙස පෙරට ඒමේ වැදගත්කම අප සංගමය සහ ඊසි ජෙට් ගුවන් සමාගම තේරුම් ගෙන සිටිනවා.''

"තරුණ කතුන් වෘත්තීන් තෝරා ගනිමින් ඒවායේ නිරත වීම මගින් ගුවන් නියමු පදවි වැනි රැකියා සඳහා යොමු වීමට දිරි ගැන්වෙනවා," ජූලි වෙස්තොප් වැඩිදුරටත් කියා සිටින්නීය.

බීබීසී යෙන්