'ඔලු දෙකේ' සර්පයකු බේරා ගැනේ

Red sand boa
Image caption 'ඔලු දෙකේ' රතු වැලි පිඹුරන් වාසනාව ගෙන දෙන සතකු බව ඇතැමුන්ගේ විශ්වාසයයි

නීති විරෝධී ලෙස ජාවාරම් කරමින් සිටි 'ඔලු දෙකේ' රතු වැලි පිඹුරා ලෙස හඳුන්වනු ලබන දුර්ලභ විශේෂයකට අයත් සර්පයකු සිය භාරයට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

සංරක්ෂිත සර්ප විශේෂයකට අයත් රතු වැලි පිඹුරාගේ වලිගයේ අග කොටසද ඔළුවකට සමාන හැඩයක් ගන්නා අතර වෙනත් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වී සිටීමට එය උපකාරී වේ.

වාසනාව ගෙන දෙන සතකු හෝ ඖෂධීය ගුණයක් ඇති බවට පවතින විශ්වාසය හේතුවෙන් 'ඔලු දෙකේ' රතු වැලි පිඹුරන්ට කළු කඩ වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතියි.

රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලකට රතු වැලි පිඹුරා අලවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවයි බැංගලෝර් පොලිසිය පවසන්නේ.

වාසනාව ගෙනෙන බවට පවතින මිථ්‍යා විශ්වාසය යොදා ගනිමින් 'ඔලු දෙකේ' රතු වැලි පිඹුරන් අලවි කිරීම පුද්ගලයන් මුළා කිරීමක් ලෙස හැඳින්විය හැකි බවත් බැංගලෝරයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා පවසයි.

සබැඳි විෂයයන්