'සුඩානයේ සාමාන්‍ය වැසියන්ට රසායනික අවි ප්‍රහාර'

Image copyright Getty Images
Image caption ඩාෆර් හි ලක්ෂ තුනකට වැඩි ජනතාවක් ගැටුම් වලින් මියගොස් ඇති අතර තිස් ලක්ෂයක ජනතාවක් ගම බිම් වලින් එළවා දමා ඇත

සුඩානයේ පිටිසරබද පළාතක් වන ඩාෆර් හි ජනතාවට එරෙහිව රසායනික අවි භාවිතා කර ඇති බව පවසන 'ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්' නොහොත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙන සුඩාන රජයෙන් ලෙස ඉල්ලා සිටී.

ඇම්නෙස්ටි ආයතනය පවසන්නේ එම රසායනික අවි ප්‍රහාර වලින් දිවි බේරාගත් පිරිසක් ලබා දුන් තොරතුරු අනුව ජෙබෙල් මාරා ප්‍රදේශයට රසායනික ප්‍රහාර තිහක් එල්ලවී ඇති අතර ඒවායින් ඇතිවූ සංකුලතා හේතුවෙන් ළමුන් ඇතුළු දෙසීයක් පමණ පිරිසක් මිය යමින් සිටින බවයි.

Image copyright AMNESTY INTERNATIONAL
Image caption දුමාරය හේතුවෙන් ලේ වමනය දැමීම, සම මතුපිට බුබුළු දැමීම සහ තුවාල ඇතිවීම සිදුවේ

එම පිරිස පවසා ඇති ආකාරයට එම අවි මගින් නිකුත් කෙරෙන අස්වාභාවික දුගඳක් සහිත දුමාරය හේතුවෙන් ලේ වමනය දැමීම, සම මතුපිට බුබුළු දැමීම සහ තුවාල ඇතිවීම සිදුවේ.

සුඩාන රජය පවසන්නේ ඇම්නෙස්ටි ආයතනය ඉදිරිපත් කර ඇත්තේ පදනමක් නැති වාර්තාවක් බවයි.

පසුගිය වසර දහතුනක කාලයක් තිස්සේ ඩාෆර් පළාතේ සිටින කැරලිකාර කණ්ඩායම් අතර සටන් පවතී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් දැනටමත් සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් ට එරෙහිව ජනසංහාර චෝදනාව යටතේ නඩු පවරා ඇත.

ඩාෆර් හි ලක්ෂ තුනකට වැඩි ජනතාවක් ගැටුම් වලින් මියගොස් ඇති අතර තිස් ලක්ෂයක ජනතාවක් බලහත්කාරයෙන් සිය ගම්බිම් වලින් එළවා දමා තිබේ.

බීබීසී යෙන්