ගැටුම් වලට බියෙන් පන්ජාබ් ගම්වැසියෝ පලායති

Image caption පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මාන ගණනාවකයි ජනතාව එලෙස ගම්බිම් අත්හැර යමින් සිටින්නේ

කාශ්මීරයේ මතභේදයට ලක්ව ඇති දේශ සීමාවේ පකිස්තානයට අයත් කොටසේ දී පකිස්තාන හමුදා විසින් තම සොල්දාදුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියාව පවසයි.

පකිස්තානයට අයත් භුමි ප්‍රදේශයේ සිටි සන්නද්ධකරුවන් පිරිසකට තමන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියානු හමුදාව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවයි මෙම නවතම සිදුවීම වාර්තාවන්නේ.

පකිස්තාන හමුදාව විසින් අල්ලාගත් ඉන්දියානු සොල්දාදුවා ප්‍රහාරයට සම්බන්ධ නොවූ බව පවසන ඉන්දියාව ප්‍රකාශ කරන්නේ ඔහු නොදැනුවත් කමින් සීමා රේඛාව ඉක්මවා පකිස්තාන භූමියට ගොස් ඇති බවයි.

එහෙත් පකිස්තානය තමන් ඉන්දියානු සොල්දාදුවෙකු රඳවාගෙන සිටින බව සනාථ කර නොමැති අතර අප්‍රසිද්ධියේ ම ඔහු ට ආපසු යන්නට ඉඩ දෙනු ඇති බවයි විමර්ශකයන් පවසන්නේ.

මේ අතර පකිස්තාන දේශ සීමාවේ සිටින ඉන්දියානු ගම්වැසියන් පලායන බවයි අද උදෑසන වර්තාවූයේ.

වාර්තාවන ආකාරයට දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර අතට හැරෙනු ඇතැයි බියෙන් පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මාන ගණනාවකයි ජනතාව එලෙස ගම්බිම් අත්හැර යමින් සිටින්නේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර දශක ගණනාවක් තිස්සේ වරින් වර කාශ්මීරයේ ගැටුම් ඇතිවෙමින් පවතින අතර මේ දක්වා යුද්ධ දෙකක් ඇතිවී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර