බ්‍රිතාන්‍යය යළිත් 'ස්වෛරී රාජ්‍යයක් වීම ඇරඹෙයි'

  • 2016 ඔක්තෝබර් 2
Theresa May

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මූලික කටයුතු 2017 වසරේ මාර්තු මස වන විට ආරම්භ වෙනු ඇති බව බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසයි.

බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස ප්‍රථමවරට කොන්සර්වටිව් පක්ෂ සම්මේලනය අමතන අවස්ථාවේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ පැවතීම පිණිස සැකසූ නීතිමය ප්‍රතිපාදන ඉවත දැමීම සඳහා වන සැලසුම් තෙරේසා මේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පක්ෂ සම්මේලනයට පෙර අදහස් දක්වමින් ඇය පැවසුවේ නව නීති මගින් බ්‍රිතාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ආයතන වලට බලය සහ අධිකාරිත්වය හිමිවනු ඇති බවයි.

යුරෝපා සංගමය සමග එක්ව සිටීම පිණිස පැවති නීති සම්පාදන ඉවත දැමීම මගින් බ්‍රිතාන්‍යය නැවතත් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රථම අදියර නිරූපණය කෙරෙන බවයි අගමැතිවරිය කියා සිටියේ.

කෙසේවුවද බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වන තෙක් නව නීති බලාත්මක නොවන බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර