කොලොම්බියා සාම ගිවිසුම ගැන ජනමත විචාරණයක්

Image copyright AFP
Image caption අඩ සියවසක් රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් මිය ගිය බවටයි ගණන් බලා ඇත්තේ.

ලෝකයේ වැඩිම කාලයක් පැවතුනු සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ අරමුණින් සටන් විරාම ගිවිසුමක් කොලොම්බියා රජය සහ FARC ගරිල්ලා කණ්ඩායම අතර පසුගිය දා අත්සන් කෙරුණි.

මේ අනුව වසර පනස් දෙකක් පුරා පැවති කොලොම්බියාවේ වෙඩි හඬ මුළුමනින්ම නවතා දැමීමට රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර අත්සන්කෙරුණු සාම ගිවිසුම නිසා හැකිවී තිබේ.

මෙම සාම ගිවිසුම අනුමත කළ යුතුද එසේ නැතිනම් ඉවතදැමිය යුතුද යන්න පිලිබඳව තීරණය කිරීම සඳහා පැවැත්වෙන ජනමත විචාරණයකට කොලොම්බියානු ජනතාව ඡන්දය භාවිතා කළහ.

අඩ සියවසක් රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් මිය ගිය බවටයි ගණන් බලා ඇත්තේ.

එසේම තවත් හැට ලක්ෂයකට වැඩි පිරිසකට උන් හිටි තැන් අහිමි විය.

ගිවිසුමට පක්ෂව

සාම ගිවිසුම අත්සන් කලේ කොලොම්බියාවේ මධ්‍ය දක්ෂිණාංශික ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්ටෝස් සහ ෆාර්ක් සංවිධානයේ නායකයා වන තිමොචේන්කෝ අතරයි.

කොලොම්බියාවේ පැවති ගැටුම් වලින් පීඩාවට පත් සියලුම වින්දිතයන්ගෙන් සමාව අයදින බවයි තිමොචේන්කෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර පවසා තිබුණේ.

මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් ගිවිසුමට පක්ෂව ලැබෙනු ඇති බවටයි සමීක්ෂණ මගින් කියවෙන්නේ.

ගිවිසුමට අනුව 2018 පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පළමු කාර්තු දෙකක් සඳහා පාර්ලිමේන්තු ආසන 10 ක් අනිවාර්යයෙන් ෆාර්ක් සංවිධානයට ලබාදීමට එකඟ වී තිබේ.

එසේම දෙපාර්ශවය අතින්ම සිදුවූ වැරදි නිසා පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමටද එකඟ වී ඇත.

සන්නද්ධ අංශය

1964 දී කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය ලෙසටයි ෆාර්ක් සංවිධානය බිහිවූයේ.

2002 වනවිට ඔවුනට සන්නද්ධකරුවන් විසි දහසක හමුදාවක් සිටි අතර කොලොම්බියාවෙන් තුනෙන් එකක් පාලනය කළේ ඔවුන්ය.

2008 වනවිට ඔවුන් දිගින් දිගටම පරාජය වෙන්නට පටන් ගත් අතර කියුබාවේ හවානා නුවරදී සාම සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසුවයි 2016 දී සටන් විරාම ගිවිසුමකට පැමිණියේ.

වසර ගණනාවක් තිස්සෙ කියුබාවේ දි පැවති සාකච්ඡා වලින් පසු අත්සන් කෙරුණු සාම ගිවිසුම පිලිබඳ ඡන්ද විමසීම කොලොම්බියානු ඉතිහාසයේ වඩාත්ම වැදගත් ඡන්ද විමසීම බවටයි විචාරකයන් අදහස් පළ කරන්නේ.

අවුරුදු පනහක යුද්ධයෙන් පසු කොලොම්බියානු ජනතාවට ලැබුණු මේ අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන නොගතහොත් වෙනත් විසඳුමක් නොතිබිය හැකි බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර