'කොලොම්බියාවට යළිත් යුද්ධයක් එපා'

Image copyright Reuters

කොලොම්බියානු රජයට සහ FARC ගරිල්ලා සංවිධානයට නැවත යුද වැදීමෙන් වැළකී සිටින ලෙසට බල කෙරෙන පා ගමනක් වෙනුවෙන් කොලොම්බියානු සාම ගිවිසුමට පක්ෂ දස දහස් ගණනක් ජනතාව වීදි බසිති.

පසුගිය ඉරිදා කොලොම්බියාවේ පැවති ජනමත විචාරණ ඡන්ද විමසුමේදී අඩසියවසකට අධික කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා කොලොම්බියානු රජය සහ FARC ගරිල්ලා සංවිධානය අතර ඇති කර ගැනීමට සැලසුම් කොට තිබුණු සාම ගිවිසුමට ජනතා කැමැත්ත හිමි වූයේ නැත.

කොලොම්බියාවේ ප්‍රධාන නගර දාහතරක පැවති පෙළපාලි වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහ රජයේ විශ්ව විද්‍යාල විසි හයක සිසු සිසුවියන් සහභාගී වූ අතර ඔවුන් විසින් සමාජ මාධ්‍ය තුළ ගෙන යනු ලැබූ ප්‍රචාරක වැඩපිළිවෙල හේතුවෙන් විශාල සාමාන්‍ය වැසියන් පිරිසක්ද මෙම පාගමන් වලට සහභාගී වී සිටියහ.

Image copyright Reuters

මේ අතර සාම ගිවිසුමට අකමැත්ත පළ කරන ලෙස කොලොම්බියානු ජනතාවගෙන් ඉල්ලා සිටි හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ සාම ගිවිසුමට ඇතුළත් කළ හැකි සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අද දිනයේ දී කොලොම්බියානු ජනපති හුවාන් මැනුවෙල් සැන්ටෝස් හමු වීමට නියමිතයි.

ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ චොලොම්බියාව සාමය උදා කර ගැනීමට ඉතාමත් ආසන්නව සිටින අතර කෙසේ හෝ පවතින බාධක ජයගෙන සාමය කරා ගමන් කරන බවයි.

Image copyright AP
Image caption කොලොම්බියාවේ හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ

හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ තර්ක කරන්නේ මෙම සාම ගිවිසුම ශක්තිමත් නොමැති බැවින් FARC ගරිල්ලා සටන් කරුවන්ට නිසි දඬුවම් හිමි නොවන අතර එහි නායකත්වයට ස්‌වයක්‍රීයව කොන්ග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රී පදවි හිමි වන බවයි.

අනාගතයේදී කොලොම්බියාවේ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යන්නේ කවරාකාරයෙන්ද යන්න සැලසුම් කිරීම සඳහා මේ වන විටත් කොලොම්බියානු රාජ්‍ය දූතයන් හවානා නුවරට ගොස් සිටියි.